×

බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ පොම්පියෝ ගෙන් විග්‍රහයක්!

බ්‍රෙක්සිට් ගිවිසුමෙන් "නිසැකවම" බ්‍රිතාන්‍යයට බලපෑමක් ඇති විය හැකියි, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි!


ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම පිළිබඳ අදහස් දක්වා තිබේ.

ඔහුට අනුව බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත වන්නේ නම් ‘නිසැකවම’ මහ බ්‍රිතාන්‍යය ජාත්‍යන්තරය ඉදිරියේ අවදානමකට ලක්වනු ඇත.

පොම්පියෝ මේ බව ප්‍රකාශ කළේ පසුගිය බදාදා (02) දින ඔහුගේ ඉතාලි සංචාරයේදී ස්කයි ටීජී 24 නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක දී ය.

දක්ෂිණාංශික මතධාරී බොහොමයක් දෙනා බ්‍රෙක්සිට් ගිවිසුමට සහය පළ කරන බවට නොරහසකි. එහෙත් බ්‍රිතාන්‍යයේ පමණක් නොව මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාවක් තුළ පවතින ගැටළු කෙරේ සංවේදී පුද්ගලයින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාමේ ආදීනව දකී. එය දාම ප්‍රතික්‍රියාවක් (chain reaction) ලෙස මුළු මහත් බ්‍රිතාන්‍යයට ආර්ථිකය, වෙළඳාම, ආරක්ෂාව, ස්වෛරීභාවය ආදී පැතිකඩ කිහිපයකින් ම බලපානු ලබන අතර, වෙනත් රටවලටද එමඟින් බලපෑම් එල්ල වීමට ඉඩපවතී. 

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ නිවුන් සොහොයුරු මෙන් ඔහුට නොදෙවෙනි දක්ෂිණාංශික මතධාරියෙකි. මෙම බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධව බ්‍රිතාන්‍යය ට සහය පළකරන බවට ඔහු නොයෙකුත් අවස්ථා වල ප්‍රකාශ කර ඇත. 

ඉතාලියේ පැවති රූපවාහිනී වැඩසටහනේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ප්‍රකාශ කර සිටියේ යුරෝපය සහ එක්සත් ජනපදය පුරා ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් සෑම කෙනෙකුගේම ආර්ථිකය අඛණ්ඩව වර්ධනය කිරීමට ඉඩ දෙනු ඇති බවට තමා හට විශ්වාස බවයි.

එහෙත්, ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සහාය ලබා දුන් බ්‍රෙක්සිට් ගිවිසුම බ්‍රිතාන්‍ය ආර්ථිකයට පමණක් නොව යුරෝපීය ආර්ථිකයට හා සමස්තයක් වශයෙන් මුළු මහත් ගෝලීය ආර්ථිකයට හානි කළ හැකි යැයි එක්සත් ජනපදය බිය වන්නේ දැයි නිවේදකයා පොම්පියෝගෙන් විමසන ලදී.

එයට ප්‍රතිචාර වශයෙන් පොම්පියෝ පවසා සිටියේ, මෙවැන්නකි;

“ඇත්තෙන්ම මේ පිළිබඳ අපි බොහෝ කලක පටන් අවදානයෙන් පසුවූවා. යුරෝපයේ සෑම මිතුරෙකුටම මම කතා කළා. එක්සත් රාජධානියේ හිතවතුන් සමඟ මම කතා කළා. සෑම කෙනෙකුටම අවශ්‍ය වී තිබෙන්නේ මෙම ගැටළුව අවසන් වීම දැකීමයි. බ්‍රෙක්සිට් ජනමත විචාරණයකින් තහවුරු කර ගත්තේ බ්‍රිතාන්‍යයින් විසින් මයි. එය අනුමත කර ගන්නේ කෙසේද යන්න බ්‍රිතාන්‍යයටම පැවරෙන කරුණක්.

ඔබ පැවසූ පරිදි සෘණාත්මක බලපෑම් ඇතිවීම වැළැක්වීමට හැකි උපරිමයෙන් අප රාජ්‍යයක් වශයෙන් කටයුතු කරනවා. නිසැකවම බ්‍රිතාන්‍යයට බ්‍රෙක්සිට් ගිවිසුමෙන් බලපෑමක් ඇති විය හැකියි. නමුත් මා විශ්වාස කරනවා, යුරෝපය හා එක්සත් ජනපදය පුරා විහිදී තිබෙන ව්‍යවසායකත්ව ශ්‍රේෂ්ඨත්වය ඉදිරියේ මේ බලපෑම් අවම කර ගන්න අපට පුළුවන් වේය කියා. එමඟින් සැමගේ ආර්ථිකය අඛන්ඩව නඟාසිටුවීමට හැකිවේය කියා අප විශ්වාස කරනවා.”

යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් බ්‍රිතාන්‍යය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට වොෂින්ටනය සාකච්ඡා කළ බවත් එක්සත් ජනපදයට සියලු යුරෝපීය රටවල් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය බවත් පොම්පියෝ මෙහිදී අවධාරණය කළේය. 

අර්බුදයකින් තොරව යුරෝපා සංගමයෙන් නික්ම යාමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පසුගිය බදාදා දින යුරෝපා සංගමයට අවසන් වරට බ්‍රෙක්සිට් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. කෙසේවෙතත්, තවමත් දෙපාර්ශවය අතර මතභේදයක් පවතින බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි