×

පොම්පියෝ සවුදි කුමරු හමුවට, ඩ්‍රෝන ප්‍රහාර වලට වගකිව යුත්තේ ඉරානයම බව පවසයි!

ඇමරිකාව සැමවිටම සහයෝගයට සූදානම්, සවුදියට පොරොන්දුවක්..


එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සවුදි අරාබියේ කිරුල හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු හමුවී තිබේ. 

එහිදී පොම්පියෝ ප්‍රකාශ කර ඇත්තේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම හමුවේ ඇමරිකාව සවුදි අරාබිය සමඟ සිටිනා බවයි. 

පොම්පියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සවුදි අරාබියේ ස්වයං ආරක්ෂක අයිතිය (right to defend itself) වෙනුවෙන් ඇමරිකාව පෙනී සිටින බවටත්, ඉරානයේ ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත නොකරන බවටත් ය.  

පසුගිය දින සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ගෝලීය තෙල් සැපයුම් දාමයේ ප්‍රභල චලනයක් ඇති කිරීමට සමත් වූ අතර, මේ සම්බන්ධයෙන් සවුදි රාජ්‍යය ජාත්‍යන්තර විශේෂඥ සහය පැතීම අගයන බවට පොම්පියෝ ප්‍රකාශ කර සිටියේය. 

පොම්පියෝ දිගින් දිගටම චෝදනා කර සිටියේ ඉරානය මෙම ප්‍රහාරයට සෘජුවම වග කිව යුතු බවය. එහෙත් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්තේ ඉරාන අනුග්‍රහය සහිත යෙමනයේ හවුතිවරුන් බවට වාර්තා වේ.

පොම්පියෝ හා මොහමඩ් බින් සල්මාන් කුමරු අතර පැවති හමුවේ දී සල්මන් කුමරු අවධාරණය කර සිටියේ සවුදියට එල්ල කළ මෙම ප්‍රහාරය එරට කලාපීය ආරක්ෂාවට සිදුකළ ප්‍රභල තර්ජනයක් බවත් ගෝලීය ශක්ති සැපයුම් දාමය හා ආර්ථිකයට ප්‍රභල බලපෑමක් එල්ල කළ බවය. 

කෙසේවෙතත්, සවුදි රාජ්‍යයට එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබඳ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට දෙදිනකට පෙර ප්‍රකාශ කර සිටියේ එය ගෝලීය තෙල් සැපයුම් දාමයට එතරම් බලපෑමක් එල්ල නොකළ බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව සැමවිටම සන්නද්ධව ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටිනා බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි