×

‘‘හිට්ලර්ගෙ කාලෙත් මේ වගේමයි“ – පාප්වහන්සේ අනතුරු අඟවති.

ජාතිකත්වය එසේත් නැතිනම් nationalism පිළිබඳ අනතුරු අඟවමින්, 1934 වසරේදී හිට්ලර්, ජර්මානු චාන්සලර්වරයා වශයෙන් අධිකතර බලයක් ලබාගැනීමට සැලසුම් කරන විට ලෝකයේ පැවතියේත් මෙවැනිම ජාතිකත්ව රැල්ලක් බවට අති උතුම් පාප්වහන්සේ අනතුරු අඟවා සිටියහ.


‘‘අපට අද 1934 වසරේ හිට්ලර් පැවැත්වූ කතාවලට සමාන කතා අසන්නට ලැබෙනවා.‘‘ යැයි ඉතාලියේ සිට උන් වහන්සේ කියා සිටියහ. ඒ, ඉතාලි අගමැති සැල්විනි මැටියෝ විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නියම කර ජනපති සර්ජියෝ මැටර්රෙලා හට හදිසි මැතිවරණයකට යාමට නියම කිරීමත් සමග ය.

මේ අනුව උන්වහන්සේ පාදක වී සිටින රෝමය ප්‍රමුඛ ඉතාලියට ද ඉදිරියේදී උදා වනු ඇත්තේ අස්ථාවර දේශපාලනික වාතාවරණයකි. ඉතාලි සන්ධාන ආණ්ඩුව පවත්වාගෙන යන්නේ දැඩි දුෂ්කරතා හමුවේ බව ද වාර්තා වේ.

ඉතාලි අගමැති මැටියෝ සැල්වානි ඇමරිකාවේ ට්‍රම්ප් සිහිගන්වන ප්‍රකාශ රාශියක් මේ වන විට සිදුකර තිබේ. ට්‍රම්ප් විසින් ‘ඇමරිකාව පළමුව‘ යැයි කියන ආකාරයටම මැටියෝ ද පවසන්නේ ‘ඉතාලිය පළමුව‘ කියා ය. තවද ඉතාලියට සංක්‍රමණිකයන් පැමිණීම වහාම සීමා කළ යුතු බවත් ඔහු කියමින් සිටියි.

‘‘මුලින් අපි… අපි.. අපි.. මේවා බියගන්වනසුලු සිතිවිලි‘‘ යැයි පාප්වහන්සේ පැවසූහ.

සංක්‍රමණිකයන් යනු සමාජයට ඒකාබද්ධ විය යුතු කොට්ඨාසයක් බව ද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ. ජාතිකත්වය හෝ ජාතිවාදය යනු ‘හුදෙකලාව පිළිබඳ ආකල්පයක්‘ – an “attitude of isolation” බව ද ප්‍රකාශ කළහ. ඉතාලි ආණ්ඩුව පසුගිය මාසයේ සංක්‍රමණියන් රැගත් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හෙළා දකිමින් උන් වහන්සේ පවසා තිබුණේ සංක්‍රමණිකයන්ට උදව් කිරීමෙන් කිසිවෙකුට ඉවත් විය නොහැකි බව ය.

1934 වසරේ හිට්ලර් කළේ කුමක්ද?

1934 වසරේදී හිට්ලර් කළේ, යුදෙව් සංහාරයට ජර්මනිය තුළින්ම මහජන කැමැත්ත දිනාගැනීම සඳහා ඊනියා ජනමත විචාරණයක් ගෙන ඒමයි.

එය කළේ ක්‍රමානුකූලව ය. ඒ වන විට ජර්මානු ජනපති පෝල් වොන් හින්ඩන්බර්ග් (Paul von Hindenburg) මිය ගොස් දින 17 ක් ගත ව තිබිණි. පෝල් වොන්ගේ සමයේ චාන්සලර් ව සිටි ඇඩොල්ෆ් හිට්ලර්ට චාන්සලර් පදවියේ මෙන්ම ජනපති පදවියේ ද යන දෙකේම බලතල එක්තැන් කළ අති ප්‍රබල නිලයක් නිර්මාණය කර ගැනීමට උවමනා විය. ‘සුප්‍රීම් පවර්‘ හෙවත් ‘සුපිරිතම බලය‘ සහිත නායකයෙකු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව සහ මහජන කැමැත්ත පාදක කර ගනිමින් නිර්මාණය කර ගැනීමට හිට්ලර් හට උවමනා වූ අතර, ඔහු Führer and Chancellor යනුවෙන් සිය නව නිලය හඳුන්වා ගත්තේය. ජනපති හා චාන්සලර් නිලයන් දෙක ඒකාබද්ධ කිරීමට ගෙන ආ ජනමත විචාරණයේදී මහා පරිමාණයෙන් ඡන්ද දායකයන් ට තර්ජනය කළ බව කියැවෙතත්, එහි ප්‍රතිඵලයෙන් ඇඟවුණේ ජර්මානු ජනතාවගෙන් අති බහුතරය, ජර්මනියේ සුපිරි නායකයා බවට පත්වීම සඳහා ඔහු ට කැමැත්ත පළ කළ බව ය. විචාරකයන් ප්‍රකාශ කරන ආකාරයට, හිට්ලර්ගේ මෙම ජන මත විචාරණය, පෝල් වොන්ගේ ජනපති බලතල ද චාන්සලර් ධුරයට අමතරව ක්‍රියාත්මක කරමින් සිටි හිට්ලර්, ඒ දෙකම ඒකාබද්ධ කිරීමට ගත් නීත්‍යානුකූල උත්සාහයකි.

ගෑස් කාමරවලට යැවුණු යුදෙව්වෝ (Times of Israel)

අවසානයේ ලොව පුරා යුදෙව් සංහාරය සිදුකිරීමට, ආර්ය රාජ්‍යයක් පිහිටුවීමට හිට්ලර් හට නීත්‍යානුකූල බලය ලබාදුන් ලියැවිල්ල වූයේ මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල කඩදාසියයි. එනිසා, අන්ත දක්ෂිණාංශික අදහස් පෙරටු කර ගත් හිට්ලර්ගේ යුදෙව් සංහාරය සඳහා සිය රටේ ජනතාවගේ නොමද සහාය නීත්‍යානුකූල ලෙස ලැබුණු බවට ඉතිහාසයේ ලියැවුණේය. ලක්ෂ 6 ක් යුදෙව්වෝ ගෑස් කාමර තුළ අවසන් ගමන් ගියහ. හිට්ලර් සිය රට තුළ සංක්‍රමණිකයන් පමණක් නොව අන්‍ය ජාතීන්ගේ ජීවත් වීම පවා රිස්සුවේ නැත. ලෝකයේ සිටිය යුත්තේ ආර්ය ජාතිය පමණක් බවත්, ඒ ආර්ය ජාතිය වනාහී තමන්ගේ ජර්මානුවන් පමණක් බවත් පවසමින් ලොව පුරා ඝාතකාගාර තනමින් හිට්ලර් වසර 11 ක් පුරා ගෙන ගිය භීෂණය දෙවන ලෝක යුද්ධයෙන් පසු පරාජය වුවත් ඔහු ලබාදුන් අන්ත දක්ෂිණාංශික පූර්වාදර්ශය ලොව පුරා තැනින් තැන විවිධ කාලවලට හිස ඔසවයි. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය මෙන්ම නැගෙනහිර යුරෝපය ද මේ මොහොතේ එහි ගොදුරකි.

Source and rights: bpk Bildagentur
නාසි පාලන සමයේ ජර්මානු පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයට ඇතුළත් කර තිබූ පාඩම් දෙකක් වූයේ ‘වාර්ගික සිද්ධාන්තය‘ (‘racial doctrine’) සහ ආර්ය ජාතියේ ශ්‍රේෂ්ඨත්වයයි.
(Source and rights: bpk Bildagentur)
හිට්ලර්ගේ නාසි වධ කඳවුරක් (The Israel Times)

දැන්, සැල්විනි මැටියෝ ‘මේ රටේ ඉන්න ඕනෙ අපි විතරයි‘ යැයි වෙනත් වචනවලින් පවසන විට, සංක්‍රමණිකයන් ඉතාලියෙන් අතු ගා දැමිය යුතු යැයි අදහස් කරන විට පාප් වහන්සේගේ සිදුවූ තැති ගැන්ම සාධාරණ වන්නේ උන්වහන්සේ එහි අනාගත ආදිනව දකින නිසා ය. සැල්විනි මැටියෝලා නිසා මේ ලෝකය අනාගතයේදී වඩාත් බිහිසුණු තැනක් වීමට ඉඩ ඇති නිසා ය. සිල්වියෝ මැටියෝ නූතන පරම්පරාවේ හිට්ලර් කෙනෙකු මෙන් හැසිරෙන නිසා ය. උන් වහන්සේ හට ඒවා අවබෝධ වන්නේ උන් වහන්සේ වනාහී වනාහී නූතන ලෝකයේ බිහිවූ වඩාත්ම ලිබරල් ආගමික නායකයෙකු වන නිසා ය.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි