×

ඉරාකයේ විරෝධතාකරුවන් මර්දනය ෆ්‍රැන්සිස් පාප්තුමා හෙලා දකී!

ෆ්‍රැන්සිස් පාප්තුමා එළඹෙන වසරේ ඉරාකය බලා පිටත් වීමට නියමිතය..


පසුගිය ඔක්තෝබර් මස පටන් ඉරාකයේ බැග්ඩෑඩ් සහ වෙනත් නගර වල දියත් වූ රාජ්‍ය විරෝධී විරෝධතා හමුවේ එරට රජය අනුගමනය කළ මර්දනකාරී ප්‍රතිපත්තිය නිසා පුද්ගලයින් 400 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වීම ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් හෙලා දැක තිබේ.

පාප්තුමා සිය සතිඅන්ත දේවමෙහෙය තුළදී මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ ඉරාකය තුළ වන සිදුවීම් දාමය පිළිබඳ හොඳ අවධානයකින් තමා පසුවූ බවත්, එකී විරෝධතා හමුවේ එරට රජය අනුගමනය කළ දරදඬු ප්‍රතිපත්තිය බෙහෙවින් වේදනා ගෙනදුන් බවත් ය.

ඉරාකයේ විවිධ නගර තුළ දියත් වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් හට ඉරාක ආරක්ෂක හමුදා සජීවී පතරොම්, කඳුළු ගෑස් හා අත් බෝම්බ ආදියෙන් ප්‍රතිචාර ලබා දුන් අයුරු පසුගිය කාලවකවානුව තුළ බොහෝ විදෙස් මාධ්‍ය මගින් හෙලිදරව් කර තිබිණි. මෙම සිදුවීම නිසා ඉරාක භූමිය ලේවිලක් බවට පත්ව තිබූ අයුරු දක්නට ලැබී තිබිණි. විශේෂයෙන් ම මෙකී ප්‍රහාර හමුවේ නසිරියා හා නජාෆ් ආදී නගර වල විරෝධතාවයේ නිරත වූ බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ශාන්ත පීතර චතුරශ්‍රයේ සිට සිය දේවමෙහෙය ඇමතූ පාප්තුමා එළඹෙන වසරේ තමා ඉරාකය බලා පිටත් ව යාමට නියමිත බව සඳහන් කර සිටි අතර, රැස්ව සිටි දහස් ගණන් කිතුණු බැතිමතුන් ගෙන් ඉල්ලා සිටියේ අහිමි වූ ජීවිත වෙනුවෙන් යාඥා කරමින් එරට සාමය සඳහා දෙවියන් වහන්සේ හට ආයාචනා කරන මෙන් ය.

2014 වර්ෂයේදී ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉරාක හා සිරියානු විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කර ගැනීමෙන් පසුව දියත් වූ මෙම විරෝධතා ඉරාක රජය මුහුණ පෑ ප්‍රභලතම අභියෝගය බවට පත්ව තිබේ. ඒ තුළ හමුදා බලය භාවිතා කිරීම නිසා අතිබහුතරයක් විරෝධතාකරුවන් ඝාතනයට ලක්ව තිබේ. මෙසේ ඝාතනයට ලක්වන විරෝධතාකරුවන් අතර බොහොමයක් ෂියා භක්තික තරුණ පුද්ගලයන් වීම විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි