×

පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අබිරහස් ලෙස දුර්වල වෙලා – වසර 780,000 කට පසු පෘථිවියේ උතුර දකුණ මාරු වීමේ සූදානමක්?

පෘථිවියේ නිශ්චිත කලාපයක චුම්භක ක්ෂේත්‍රය අබිරහස් ලෙස දුර්වල වෙමින් තිබෙන බව විද්‍යාඥයෝ පවසති.


මේ අනුව චන්ද්‍රිකා සහ ගගන යාත්‍රා වලට ගැටළු ඇතිවිය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙම කලාපය වන්නේ අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව අතර භූ තලයයි.

මෙසේ පෘථිවි චුම්භක ක්ෂේත්‍රය දුර්වල වීම අබිරහස් ‘සංසිද්ධියක්‘ (phenomenon) ලෙස සැලකෙන අතර, එහි නම South Atlantic Anomaly හෙවත් දකුණු අත්ලාන්තික විපරිතය යි. හේතුවක් සොයාගත නොහැකි නමුත් පසුගිය වසර කිහිපය තුළම මෙය සිදුවෙමින් පවතින බව සොයාගෙන තිබේ.

යුරෝපා අජටාකාශ ඒජන්සියේ (ESA) දත්ත යොදාගෙන සිදුකරන අධ්‍යයනයන්ගෙන් විද්‍යාඥයන් සොයාගෙන තිබෙන්නේ 1970 සහ 2020 අතර කාලය සන්සන්දනය කිරීමේදී පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය 8%කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි.

මෙම දත්ත ලබාගෙන තිබෙන්නේ පෘථිවි කක්ෂයේ ස්ථානගත කර තිබෙන Swarm චන්ද්‍රිකා පොකුර ආධාරයෙනි.

පෘථිවි ධ්‍රැවයන් (උතුර-දකුණ) මාරු වීමට නියමිත ය!

දැන් විද්‍යාඥයන් උත්සාහ කරමින් සිටින්නේ මෙම චුම්භක ක්ෂේත්‍රය වෙනස් වීම මගින් පෘථිවියේ හරය හෙවත් මදයට එයින් සිදුවන බලපෑම නිශ්චිතව හඳුනාගැනීමට ය.

යුරෝපා අජටාකාශ ඒජන්සියේ විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් දරණ එක් අදහසක් වන්නේ මෙම ක්‍රමිකව දුර්වල වන චුම්භක ක්ෂේත්‍රය, පෘථිවි චුම්භක ක්ෂේත්‍රය ආපස්සට හැරීමට ගන්නා උත්සාහයක් විය හැකි බවයි.

මෙය, උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය එකිනෙකට හමුවන ස්ථානවලදී සිදුවන අතර, මෙකී චුම්භක ක්ෂේත්‍ර වෙනස සිදුවෙමින් පවතින්නේ ද එම කලාපය තුළ ය.

මෙවැනි ‘භූ චුම්භක ප්‍රතිවර්ත වීම‘ (“geomagnetic reversal”) පෘථිවියේ මීට පෙර සිදුව තිබෙන්නේ වසර හත්ලක්ෂ අසූ දහසකට (780,000) පෙර ය. මේ අනුව මෙම ප්‍රතිවර්තනය මෙයට බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ දෙයක් බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මාරු වුණොත් මොකද වෙන්නෙ?

භූ චුම්භක ක්ෂේත්‍රෙයේ සිදුවන මෙම වෙනස පෘථිවියට තීරණාත්මක වේ.

මන්ද යත්, පෘථිවි ග්‍රහලෝකය සූර්ය සුළං සහ විනාශකාරී  කොස්මික් කිරණවලින් ආරක්ෂා කර ගැනීමට පෘථිවි චුම්භක ක්ෂේත්‍රය වැදගත් කාර්යභාරයක් ඉටු කරන නිසා ය.

තවද විදුලි සන්දේශ චන්ද්‍රිකා පද්ධති ක්‍රියාත්මක වන්නේ ද මේ මත රඳා පවතිමිනි. එපමණක් නොව, පරිගණක සහ ජංගම දුරකථනවලට පවා මේ වෙනස දැනෙනු ඇත.

ගුවන් යානාවල හදිසි තාක්ෂණික අකර්මණ්‍යවීම් !

මෙම දකුණු අත්ලාන්තික විපරිතය විසින් දැනටමත්, පෘථිවි කක්ෂයේ රඳවා තිබෙන චන්ද්‍රිකා පද්ධතිවලට යම් බලපෑමක් සිදුකර තිබේ. එසේම මෙම කලාපය ට ඉහළින් පියාසර කරන ගුවන් යානාවල ද හදිසි තාක්ෂණික අකර්මණ්‍යවීම් සිදුවීමට මෙය හේතුවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි