×

මදුරුවන් බෝවන තැන් 70,000 ක් විනාශ කළ ඇප් එක – Premise

ඩෙංගු, සිකා වෛරස් ප්‍රමුඛ මදුරුවන්ගෙන් බෝවන රෝග ඉලක්ක කර ගනිමින් එම මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත හැකි ජංගම දුරකථන යෙදවුමක් (ඇප් එකක්) කොළොම්බියාව විසින් හඳුන්වා දී ඇති අතර එය අතිශය සාර්ථක වී තිබේ.


මෙම ඇප් එකේ නම Premise ය. ඇමරිකාවේ Premise නමැති දත්ත සහ විශ්ලේෂණ සමාගම විසින් මෙය නිර්මාණය කර තිබේ.

කසළ ගොඩවල්වල පවා සැඟව තිබෙන ජලය එක්රැස් වන ස්ථාන හඳුනාගැනීමට මෙයට හැකි ය.

මෙහිදී තොරතුරු එක්රැස් කිරීම, ඒවා ගබඩා කිරීම, ප්‍රදේශය හඳුනා ගැනීම සහ අවසානයේ නගර බලධාරීන් වෙතට එම තොරතුරු පත් කිරීම සිදු කරයි. ඉන්පසු නගර බලධාරීන් විසින් නිවැසියන් හට අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සිදුකරයි. මදුරු වර්ධන ක්ෂේත්‍ර විනාශ කිරීම සඳහා ඔවුන්ට කෙටි කාලයක් ලබාදෙන අතර, අවසානයේ නිවැසියන්ට මුදල් ත්‍යාග ලබාදීම ද සිදු කරයි.

2018 ජූලි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙය, 2019 වසරේ ජූලි මාසය දක්වා කොළොම්බියාවේ නගර 3ක නිවාස 108,000 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක විය. එහිදී මදුරුවන් බෝ වන ස්ථාන 70,000 ක් විනාශ කිරීමට කොළොම්බියාවට හැකියාව ලැබී ඇත.

ඉදිරි කාලයේදී කොලොම්බියාවේ සෙසු නගරවල මෙන්ම දකුණු ඇමරිකානු මහද්වීපය පුරා ද මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිත ය.

USAID ආධාර මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා කොලොම්බියාව තෝරාගැනීමට හේතු වූයේ 2015-16 කාලයේදී ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හේතු වූ, දකුණු ඇමරිකානු මහද්වීපය සිකා වෛරස් රෝගයට ගොදුරු වීමයි.

ඒ අනුව තාක්ෂණය මුල් කර ගත් විසඳුම් (tech-based solutions) වලට යොමු වීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.

මේ වන විට කලාපයෙන් සිකා වෛරස් අවදානම පහව ගොස් ඇතත්, ඩෙංගු රෝගය විශාල වශයෙන් හිස ඔසවා ඇත. මේ වසර තුළ ලතින් ඇමරිකාව තුළින් ඩෙංගු රෝගීන් මිලියන 2ක් වාර්තා වී ඇත. 720 දෙනෙකු මරණයට පත්ව ඇත.

ලංකාවේ තත්වය

ශ්‍රී ලංකාවේ 2019 වසර තුළ ඩෙංගු රෝගීන් 76413 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කරයි.
එයින් 46.1%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
2019 ඔක්තෝබර් මාසය වන විට ඩෙංගු මරණ 74 ක් වාර්තා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි