×

විලෝපිකයා හමුවේ කරට කර ගැටෙන ගෝත්‍රික කෙල්ල… නාරූ

ඩච් නොකළ දේ පුංචි කෙල්ල නාරූ කරයි...


Dan Trachtenberg ගේ අධ්‍යක්ෂණයෙන් ඔබ හමුවට එන නවතම Predator සිනමා සිත්තම “Prey” 2022 අගෝස්තු 05 වන දින කරළියට එක් විය. 1987 ජූනි 12 වන දින එළිදැක්වූ box office වාර්තා බිඳ දමමින් ප්‍රඩේටර්වරුන්ගේ ආගමනයත් සමඟ කෙමෙන් Predator 2 – 1990 දී ද, Alien Versus Predator – 2004 දී ද, Alien Versus Predator – Requiem – 2007 දී ද, Predators – 2010 දී සහ The Predator – 2018 දී ද ජනතාව අතරට යන ලදී. නමුත් මෙම චිත්‍රපට සියල්ලගේම ආරම්භයට තුඩු දෙමින් නව “Prey” චිත්‍රපටය වෙනස්ම මුහුණුවරක් ගැනීමට සමත්කම් දක්වා ඇත.

91% ක Google පරිශීලක මනාප වගේම 7.3/10 ක IMDB අගයක් ලබාගැනීමට සහ පළමු Predator චිත්‍රපටයේ වාර්තාව ද බිඳිමින් 93% ක Rotten Tomatoes අගයක් ලබා ගැනීමට මෙම නිර්මාණයට හැකිව ඇත. Arnold Schwarzenegger හෙවත් ඔබ අප කවුරුත් දන්නා Predator සමඟ උරින් උර ගැටෙමින් සටන් ජවනිකා සිදු කළ “ඩච්” නම් මිලිටරි සටන්කාමියා හා සම්බන්ධ කතා මාලාවට අවුරුදු ගානකට පෙර මතකයන් අවදි කරමින් මෙම නව සිනමා සිත්තම පෘථිවියේ ගෝත්‍රික ජන කොට්ඨාසයක් පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. මෙහි චරිතාංග වශයෙන් රතු ඉන්දියානු සම්භවයට අයත් Amber Midthunder “නාරූ” ලෙසත්, Dane DiLiegro, Dakota Beavers ආදී පිරිසක් පණ පොවන අතර මෙය අනෙකුත් Predator චිත්‍රපට වලට සාපේක්ෂව ඉදිරියෙන් සිටින කතාංගයකි.

“නාරූ” නම් මෙහි කතානායිකාව ගෝත්‍රික ආභාසය ලත් කෙලිලොල් දැරිවියකි. මෙම කතාමාලාව ගෙතෙන්නේ ඇය මූලික කරගෙන ය. අනෙකුත් Predator චිත්‍රපට වල නූතන ලෝකය සමඟ සම්බන්ධ වෙමින් නව අවි ආයුධ වලින් කෙරෙන සටන් ක්‍රම ගොඩ නැඟුනද මෙම Prey හි ගෝත්‍රික වශයෙන් අවුරුදු ගණනාවකට දුරාතීතයේ සටන්කාමී දක්ශතා ගෙන හැර පායි.

“නාරූ” තම ගෝත්‍රය තුළද, චිත්‍රපටය පාදක වන 1719 වර්ෂයේ පෘථිවියට පැමිණෙන Predator අතරද දුර්වල චරිතයක් ලෙස ඔවුන් දකියි. එයට හේතුව නම් ගෝත්‍රය තුළ ඇයට දඩයම් කිරීමටවත් නොහැකි බව පිළිගෙන සිටීම පමණක් නොව Predator පවා ඇයව එතරම් ගණන් නොගෙන සිටීමයි. Predatorවරුන් යනු තමාට අභියෝගයක් හෝ තර්ජනයක් වනු ඇතැයි සිතන අය දඩයම් කරන පිටසක්වල ජීවී කොට්ඨාසයකි. මෙහිදී ඔවුන් නාරූ ව ගනන් නොගෙන සිටීමත් සමඟ අපිට පෙනී යන්නේ Predator නාරූ තමන්ට අභියෝගයක් වනු බව කිසිසේත්ම නොසිතා සිටීමයි.

පුරුෂාධිපත්‍යයය මුල් වී පවතින සමාජ ක්‍රමයක ගැහැණිය යන සංකල්පය ඉතා පටු භූමිකාවක් ලබා ගනී. ගැහැණිය යොදාගනු ලබන්නේ විටෙක කතාවෙහි නිර්මාණශීලී බව පෙන්වීමට හෝ ශෘංගාර රසය ඉස්මතු කිරීමට ය. නමුත් මෙම කතාමාලාව ගැහැණිය ට වෙනස්ම ස්ථානයක් ලබා දෙමින් පිරිමි අතුරින් කැපී පෙනෙන චරිතයක් බවට පත් කර ඇත.

නාරූ දුර්වල අයෙකු සේ හංවඩු ගැසුනද පසුව Predator හට ඇය තමාට අභියෝගයක් වන බව දැන ගැනීමත්, ඇය සමඟ සටන් වැදීමත් සමඟ අපට හැඟී යන්නේ කාන්තා ජවය පෙන්වන හරි අපූරු අවස්ථාවක් ලෙසයි. කාන්තාව යනු හිතින් වගේම ගතින් ශක්තිමත් කොට්ඨාශයක් බව මෙම චිත්‍රපටය නරඹන ලොකු කුඩා ඕනෑම අයෙකුට හැඟෙනවා නෙඅනුමානය. කතාංගය ගෙතෙන්නේ විලෝපිකයන් මුල් කරගෙන මුත් ඉන් ඔබ්බට සිතීමේදී Prey යනු කාන්තා විමුක්තිය / කාන්තාවන්ගේ ජව සම්පන්න බව ආදියට නිදසුන් දක්වන අමුතුම නිර්මාණයකි.

චිත්‍රපටය තුළ නාරූ අවසානයේ දී Predator ගේ හිස තම ගෝත්‍රය කරා ගෙන ගොස් පවසන්නේ පිටත විශාල විනාශයක් සිදුවෙන බව පිළිබඳ අනතුරු ඇඟවීමකි. මෙයින් අදහස් වන්නේ නැවතත් predator වරුන්ගේ ආගමනයක් දෙවනි කොටසකින් බලාපොරොත්තු වන ලෙස යනුවෙන් සිතිය හැක. පිටත ලොවකින් ආ එම විලෝපිකයන් කෙරෙහි නැඹුරුවක් දක්වමින් මෙම කතාංග ක්‍රියාදාම චිත්‍රපට සම්ප්‍රදායට අලුත් මුහුණුවරක් ගෙන ඒමට Prey සමත් ව ඇත.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි