×

ප්‍රියංකා රෙඩ්ඩි ඝාතනය ඉන්දියාව අවුළුවයි – update

ඉන්දියාවේ ‘හයිඩ්‍රාබාද් සංත්‍රාසය‘ ලෙස ප්‍රකට වූ තරුණ පශුවෛද්‍යවරියක් සමූහ දූෂණයට ලක් කර පුළුස්සා මරා දැමීමේ සිදුවීම ඊයේ ඉන්දියානු පාර්ලිමේන්තුව ද උණුසුම් කළේය.


පහත දැක්වෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලින් මේ දක්වා සොයාගෙන ඇති කරුණු සමහරකි. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ සිදුවීමේ ඇති බිහිසුණුකම ඇඟ කිළිපොළා යන තරම් ප්‍රබල හා අමානුෂික බවයි.

27 හැවිරිදි ප්‍රියංකා රෙඩ්ඩි සිය සොයුරියට දුරකථන ඇමතුම ලබා දී තිබෙන්නේ රථ ගාලේදීය.

ඇගේ ස්කූටරයේ ටයරයක පැච් එකක් වැනි දෝෂයක් හටගෙන තිබූ අතර දූෂකයන් ඇය වෙත ළං වී තිබෙන්නේ ස්කූටරය සාදා ගැනීමට උදව් කරන මුවාවෙනි.

මෙම ස්කූටරයේ පැච් එක දූෂකයන් විසින්ම සිදුකරන ලද්දකැයි පොලිසිය පවසයි.

ඇයව වරින් වර දූෂකයන් 4 දෙනා විසින් දූෂණය කර තිබේ.

එක් දූෂකයෙක් පුරා වසර 2 ක් තිස්සේ බලපත්‍ර රහිතව ට්‍රක් රථයක් පදවා ඇති අයෙකි. මෙය ඉන්දීය පොලිසියට මහත් කැළලක් ඇතිකරන කරුණක් වන්නේ ඔවුන්ගේ රථ වාහන නීති කොතරම් දුර්වලදැයි පෙන්වන සිදුවීමක් වන නිසා ය.

දූෂණයට ලක් කිරීමේදී ඇයට මහත් වධහිංසා පමුණුවා ඇත.

ඇයව පණ පිටින් පුළුස්සා දැමීම සඳහා ට්‍රක් රථයේ තිබූ පෙට්‍රල් සහ ඩීසල් යන දෙවර්ගයම යොදාගෙන තිබේ.

පොලිසිය එක් සැකකරුවෙකු අල්ලා ගන්නේ පෙට්‍රල් පොම්පයක කොටසක් සැක සහිත ලෙස තිබී හමුවීමත් සමග ය.

චූදිතයන් 4 දෙනා මේ වන විට පොලිස් භාරයේ සිටිති. ඔවුන් වන්නේ,

මොහොමඩ් අරීෆ් – 26 හැවිරිදි ට්‍රක් රථ රියැදුරෙකි.
ජොල්ලු නවීන් – 20 හැවිරිදි රියැදුරෙකි.
ජොල්ලු ෂිවා – 20 හැවිරිදි පිරිසිදු කරන්නෙකි.
චින්තකුන්තා චෙන්නකේෂවාලු – 20 හැවිරිදි පිරිසිදු කරන්නෙකි.

 

මෙම සියලු සැකකරුවන් හයිද්‍රාබාදයේ පදිංචි අය ය.

පොලිසිය මොවුන් අත්ඩංගුවට ගැනීමේදී සීසීටීවී දර්ශන ද යොදාගෙන තිබේ.

අපරාධය සිදුකරන අවස්ථාවේදී ඔවුන් බීමතින් සිටි බව ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පත පවසයි.

ප්‍රියංකා රෙඩ්ඩිගේ පිළිස්සී ගිය මළ සිරුර සොයාගත්තේ ඇයව දූෂණයට ලක් කළ ස්ථානයට සැතපුම් 15 ක් එපිටිනි.

ඇගෙන් ඇගේ සොයුරියට අවසන් දුරකථන ඇමතුම ලැබෙන්නේ රාත්‍රී 10 ට පමණ ය. රාත්‍රී 11.30 ට පමණ ඇගේ දුරකථනය ප්‍රතිචාර නොදක්වන බැවින් ඇගේ නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබේ. අළුයම 5 දක්වා ඒ අවට ප්‍රදේශය පොලිසිය විසින් සෝදිසි කර ඇත.

ප්‍රියංකා රෙඩ්ඩිගේ සොයුරිය ඩේලි මේල් පුවත්පතට කියා ඇත්තේ පොලිසිය තමන්ට සහයෝගය දීමට කාලය ගත් බවයි. ‘‘අපි එක පොලිසියකින් තවත් පොලිසියකට ගියා.. පොලිසිය කාලය නාස්ති නොකළා නම් මගේ අක්කාව මැරෙන්න කලින් බේරගන්න තිබුණා..‘‘

දූෂකයන් ව ද පණ පිටින් පුළුස්සා මරා දැමිය යුතු යැයි ප්‍රියංකාගේ මව ඉන්දීය මාධ්‍යයන්ට කියා තිබේ.

මේ අතර ඉන්දියාව පුරා පැවැත්වෙන උද්ඝෝෂණවලදී ජනතාව කියා සිටින්නේ දූෂකයන් එල්ලා මරා දැමිය යුතු බව ය.

ඉන්දියානු විචාරකයන් පෙන්වා දෙන්නේ කොතරම් දැඩි නීතිරීති තිබුණත්, ජනතාව එම නීතිවලට අවනත නොවන සහ ඒවා ගණන් නොගන්නා තත්වයක් තුළ මෙවැනි අමානුෂික සහ නිහීන අපරාධ දිනෙන් දින වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබෙන බවයි.

පෙර ලිපිය – දයාබර ඉන්දියාව, කරුණාකර ඔබේ දියණියන්ට භීෂණය සහ දූෂණය වෙනුවට ජීවිතය දෙන්න

දයාබර ඉන්දියාව, කරුණාකර ඔබේ දියණියන්ට භීෂණය සහ දූෂණය වෙනුවට ජීවිතය දෙන්න.!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි