×

‘‘ඔව් මම අසුපිටින් වැටුණා‘‘ – පුටින් පිළිගනියි

පුරා දශක දෙකක් මුළුල්ලේ රුසියාව අයෝමය හස්තයකින් පාලනය කරන පුටින් සම්බන්ධයෙන් ක්‍රෙම්ලින් පාලනය අදහස් දැක්වීමේදී බොහෝ පරිස්සම් වෙයි.


උදාහරණයක් වශයෙන් සිය නායකයාගේ සෞඛ්‍ය තත්වය ගැන, ඔහුගේ අසාර්ථකවීම් ගැන ඔවුන් කිසිදු තොරතුරක් ලබාදෙන්නේ නැත.

2012 වසරේදී බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැවසුවේ ජූඩෝ ක්‍රීඩාවේ යෙදී සිටියදී පුටින් පැරදෙන හැටි තමන් දුටු බවයි. නමුත් ක්‍රෙම්ලිනය වහාම ඒ කතාව බොරුවක් බව කීවේය.

නමුත් අවසානයේ, දැන් වයස 68 ක් වන පුටින් ම, පුටින් ගැන අවංක ලෙස කතා කරන්නට පටන් ගෙන තිබේ.

පුටින් ගැන මේ සමග පළවන ඡායාරූප පෙළ ඔබට මතක ඇති. ලෝකය කැළඹූ මේ ඡායාරූපවලින් පෙන්වන්නේ පුටින් කොතරම් කායවර්ධන ශූරයෙක් ද සහ අයෝමය මිනිසෙක් ද යන ප්‍රතිරූපයයි. උදාහරණයක් වශයෙන් හිම මිදෙන ජලයේ කිසිදු අපහසුවකින් තොරව බැස සිටින්නට පුටින්ට පුළුවන. ඈත සයිබීරියාවේ හිම ව්‍යාඝ්‍රයන්ගේ නිකේතනවල තත්වය පරීක්ෂා කිරීමට අසු පිටින් යාමට ඔහුට පුළුවන. පුටින් ප්‍රහාරක රයිෆල හැසිරවීමේ අති දක්ෂයෙකි. ෆෝමියුලා වන් ධාවන ශූරයන් සමග ද කරට කර ධාවනයේ යෙදෙයි. 2011 වසරේදී ඔහු යොවුන් අයිස් හොකී කණ්ඩායම ද නිරුත්තර වන පරිදි ක්‍රීඩා කළේය. 2009 වසරේ සාන්ත පිටර්ස්බුර්ගයේදී ජූඩෝ ශූරයෙකු අල්ලා පොළොවේ ගැසුවේය. සයිබීරියාවේ යෙන්සෙයි ගංගාවේ මාළු බෑවේය. ඔහුගේ ප්‍රියතම විනෝදාංශයක් වන්නේ දඩයමේ යාමයි. රුසියාවේ ඈත පෙරදිග වනයක ඔහු විද්‍යාත්මක කාර්යයකටැයි කියා ව්‍යාඝ්‍ර දඩයමේ ද යෙදුණේය. විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් ධ්‍රැව වලසෙකුට වෙඩි තැබුවේය. 2012 වසරේදී සයිබීරියානු කොකුන්ට සංක්‍රමණ මාර්ගය පෙන්වා දීම සඳහා ග්ලයිඩරයක නැගී උන් සමග ඉදිරියෙන්ම පියාසර කළේය. එහිදී සුළඟේ වේගය හමුවේ ග්ලයිඩරය වැරදි පාරක ගිය බව සැබෑවක් නමුත්… කමිසය නැතිව ඡායාරූපවලට ඔහු පෙනී සිටීමට ප්‍රිය කරන්නේ එයින් සිය සික්ස් පැක් ශරීරය පෙනෙන පරිදි ය.

නමුත් එහෙව් පුටින් අශ්වයා පිටින් වැටුණේය…

මේ සිද්ධිය පිළිබඳ ඔහු හෙළිදරව් කරන්නේ එය සිදුවූ කාලය පිළිබඳ සඳහනක් නොකර වීම ද විශේෂත්වයකි.

එවකට රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ පුටින්, සයිබීරියාවේ තිවා පළාතේ හිම ව්‍යාඝ්‍රයන්ගේ නිකේතනයක් බලන්නට ගියේ අසුපිට ය. ඔහු යන එන කොතැනත් ඔහු සමග කැමරා ශිල්පියෝ සිටිති. පුටින්ගේ වචනවලින් ම සිද්ධිය මෙසේ ය.

‘‘මම පුහුණු වෙන අතරතුරදි තමයි ඒක සිද්ධ වුණේ. අශ්වයා එක වරම බාධකයක් ඉදිරිපිට නතර වුණා. මම ගැස්සිලා ගිහින් කරණමක් ගහල බිම නතර වුණා. හැබැයි මම කරණමක් ගහලා කිසිම ප්‍රශ්නක් නැතිව බිමට ආවා..‘‘

සිය කැමරා ශිල්පියාට රූගත කිරීම් නොනවත්වා කරන ලෙසට ද පුටින් ඒ සමග උපදෙස් ලබා දී තිබිණි.

‘‘එතකොට මට මේ උත්තරය පළවෙනි වතාවට ඔහුගෙන් ඇසුණා.. ‘‘මම ඒක වහාම මකල දාන්නම් සර්…‘‘

පුටින්ගේ මේ වදන් රුසියාවේ ටාස් පුවත් සේවය එසේ වාර්තා කර තිබිණි.

පෙනෙන්නට තිබෙන හැටියට බොහෝ ‘සර්ලා‘ බිම වැටීම් සහ ඇද වැටීම් සඟවති. ලෝකයේ කොහෙත්, සිය ප්‍රතිරූපයන් මේන්ටේන් කරනා නායකයන්ගේ හැටි එහෙම ය.

Photos:

REUTERS/Ria Novosti/Alexei Druzhinin/Pool Reuters
REUTERS/Sergei Karpukhin Reuters
REUTERS/Ivan Sekretarev/Pool Reuters
REUTERS/RIA Novosti/Kremlin/Dmitry Astakhov Reuters



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි