×

මධ්‍යම ආර්ජන්ටිනාවේ රැබයිවරයකුට මරු ප්‍රහාරයක්

යුදෙව් විරෝධී පාඨ කියවමින් පැමිණි මැර පිරිසක් මධ්‍යම ආර්ජන්ටිනාවේ රැබයිවරයකුට පහර දෙයි.


මධ්‍යම ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ පිහිටි යුදෙව් ආගමික ආයතනයක් වන චබාද්-ලුබාවිච් හි රැබයිවරයකුට ඉරිදා (09) දින නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් මරු ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ ෂ්ලෝමෝ තවිල් නම් රැබයිවරයාය.

මෙම මරු ප්‍රහාරය ආගම්වාදී යුදෙව් විරෝධී (antisemitic) ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇත.

මෙම නාඳුනන පුද්ගලයින් තිදෙනා යුදෙව් විරෝධී පාඨ කියවමින් චබාද්-ලුබාවිච් නම් ආගමික ආයතනය වෙත කඩා පැන ඇති අතර, එම මොහොතේ ආයතනය තුළ තනිවම සිටි රැබයිවරයා ගේ හිස්වැස්ම ගලවා විසිකර දමා ශාරීරික වධහිංසන පමුණුවා ඇත.

බලධාරීන් පවසන අන්දමට, මෙම ප්‍රහාරය යුදෙව් විරෝධී ප්‍රහාරයක් ලෙස හඳුනා ගෙන ඇති අතර, පහර දුන් පිරිස රැබයිවරයා සතු කිසිවක් සොරාගෙන නැත. ඔවුන්ගේ පරම අරමුණ වී තිබෙන්නේ රැබයිවරයා ට ශාරීරික හානි පමුණුවා තම යුදෙව් විරෝධී පණිවුඩය සමාජයට කියා පෑම බවට වාර්තා වේ.

සඳුදා (10) දින ආර්ජන්ටිනාවේ ඩීඒඅයිඒ (DAIA) නම් යුදෙව් දේශපාලන පක්ෂයේ නියෝජිතයකු වන ගේබ්‍රියල් ඩොබ්කින් සිදුවීම පිළිබඳ මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මෙම ආගමික ආයතනය වහාම පොලිසිය වෙත මේ පිළිබඳව පැමිණිලි කළ යුතු බවයි. මේ වන විටත්, පොලිසිය නගරයේ නඩුපවරන නිලධාරියකු සමඟ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්, පහරදීම සිදුවූ ප්‍රදේශය අවට සවිකළ කැමරා පද්ධති ඔස්සේ අධ්‍යයනය කොට පහර දුන් පුද්ගලයන් හඳුනා ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනු ඇති බවටත් ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රහාරය ම්ලේච්ඡ යුදෙව් භීතික ප්‍රහාරයක් බවට ඔහු විස්තර කරයි.

ඩීඒඅයිඒ පක්ෂය හා ආර්ජන්ටිනාවේ යුදෙව් ප්‍රජාව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එරට රජයට බල කර සිටියේ මෙම පහර දීම ඉදිරියේ යුක්තිය ඉටුකරන ලෙසටයි.

“ආර්ජන්ටීය සමාජයෙන් මෙවන් කෘෘර මිනිසුන් පළවා හැර දමා, සියල්ල සාමයෙන් හා සමාදානයෙන් ජීවත් වනු දැකීම අපගේ පරමාර්තයයි,” එම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ.  

රොසාරියෝ නගරයේ රැබයිවරයකු ලෙස 1987 වර්ෂයේ පටන් සේවය කළ පහර කෑ රැබයිවරයා මේ වන විට තම පවුලේ සාමාජිකයන් සමඟ සිටින අතර, තුවාල වලින් සුවය ලබමින් සිටින බවත් වාර්තා වේ.

රොසාරියෝ පාර්ලිමේන්තුවේ සභාපති ඇන්ටෝනියෝ බොන්ෆැටි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, සමාජයක් ලෙස මෙවන් කෘෘර ක්‍රියා සිදුවීමට ඉඩලබා නොදිය යුතු බවත්, සැවොම සාමයෙන් හා සමාදානයෙන් ජීවත් විය යුතු බවත් ය.

මීට පෙරද, ආර්ජන්ටිනාවේ අප්‍රේල් හා මැයි යන දෙමස තුළදී යුදෙව් විරෝධී ප්‍රහාර දෙකක් බියුනෝස් එයර්ස් යන ප්‍රදේශයෙන් වාර්තා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි