×

කිසිදා නූපන් – මිය නොගිය ඕෂෝ පෘථිවියේ සංචාරය කළ වග ය.

‘‘කිසිදා නූපන් - මිය නොගිය ඕෂෝ 1931 උඳුවප් මහේ 11 දින සිට 1991 දුරුතු මහේ 19 දා තෙක් පෘථිවියේ සංචාරය කළ වග ය.‘‘


රජ්නීෂ්, දරුවන් එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ඔහුගේ පියා රෙදි වෙළෙන්දෙකි. 1091 දෙසැම්බර් එකොළොස් වැනි දින ඔහු උපත ලද්දේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ හොෂන්ගාබාද් දිස්ත්‍රික්කයේ කුෂ්වාදා නම් වූ කුඩා නගරයකදී ය. ළදරු අවධියේ දී ඔහුගේ නම චන්ද්‍ර මොහාන් විය. ඔහුගේ ළදරු අවධිය ගෙවී ගියේ සිය දෙමාපියන්ගෙන් දුරස්ව සිය මෑණියන්ගේ දෙමාපියන් සෙවණෙහි ය. ඔහු ඉගෙනීමට දක්ෂ දරුවෙකු වුවත් නාහෙට නාහන වැඩ කරන ලොකු දඟකාරයෙක් විය. දිනපතාම පාහේ ඔහුට විරුද්ධව පැමිණිලි මුල් ගුරුතුමා වෙත ඉදිරිපත් වූයේ ය. විවාදවලට අතිශය රුචියක් දැක්වූ ඔහු නිරතුරුවම සත්‍යය වෙනුවෙන් කතා කළේය. මුත්තණුවන්ගේ අසනීපයත් ඔහුගේ මිය යෑමත් තරුණ අවධියේදී ඔහු තුළ අතිශය කම්පනයක් ඇති කළ සිද්ධියක් විය. ළඟපාත වෛද්‍යවරයෙකු නැති බැවින් කරත්තයකින් නගරයට රැගෙන යන අතරතුර මුත්තණුවෝ අවසන් හුස්ම හෙළූහ. ඔහු බොහෝ අවස්ථාවන්හි මේ වේදනාකාරී අත්දැකීම සිහිපත් කරමින් කතා කළේය.

1953 දී ඔහු දර්ශන විද්‍යාවේ පළමු පෙළ සාමාර්ථයක් ජබාල්පූර් විශ්ව විද්‍යාලයකින් ලැබීය. සියලු ආගම් පිළිබඳ ගැඹුරු කියැවීමෙන් හා අඛණ්ඩව භාවනාවේ නිරත වීමෙන්පසු එක්තරා දිනෙක ඔහු තමා සර්වඥ තත්ත්වයකට පත් වූ බව ප්‍රකාශ කළේය. මේ උත්කෘෂ්ට දිනය 1953 මාර්තු 21 වැනි දා බව ඔහු පැවසීය ය. ඒ වන විට ඔහු එකුන් විසි වියේ පසු විය.

1958 දී ඔහු ජබල්පූර් විශ්වවිද්‍යාලයේ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත් විය. ඉගැන්වීමට අමතරව ඔහු නොයෙක් නගරවල සංචාරය කරමින් දේශනා පැවැත්වීම ඇරඹීය. ඔහුගේ දෙසුම්වලට ජනයා බෙහෙවින් ආකර්ෂණය වූහ. එයට විශේෂ හේතුවක් වූයේ ඔහු කළ කතා මින් පෙර ජනයා නොඇසූ කතා වීම ය. ඔහු සම්ප්‍රදායන්ගෙන් බැහැරව කතා කළේය. මිනිසුන්ගේ සිත් ගන්නට හැකි මෝහනීය කටහඬක් ඔහු සතු විය. ඉපැරණි මත බිඳ දමමින් ඔහු කළ දේශනා නොයෙකුත් දෘෂ්ටාන්ත කතාවලින් හා උපහාසයෙන් අනූන විය. අවුරුදු දහස් ගණනක් තිස්සේ ශුද්ධ යැයි පිළිගැනුණු මතිමතාන්තර ඔහු තාර්කික පදනමක් මත සිට බිඳ හෙළුවේය. උගත් ස්ත්‍රී පුරුෂයෝ ඔහු වටා එක්රොක් වන්නට වූහ.

1974 දී ඔහු සිය ප්‍රථම කොමියුනය පූනේ නගරයේ පිහිටවීය. ඒ වන විට ඔහුගේ ඉගැන්වීම් විදෙස් රටවලට ද පැතිර ගොස් තිබිණි. බොහෝ විදේශිකයෝ පූනේ නගරයට පැමිණ ඔහු විසින් ඉදිරිපත් කරන ලද භාවනා ක්‍රමයන් හි නිරත වෙමින් ඔහුගේ ශ්‍රාවකයන් බවට පත්වූහ. ඔවුනට අලුතෙන් නම් තැබිණි. ආශ්‍රමයේ සිටිනා කාලය තුළදී ඔවුන් කෂාය වස්ත්‍රයෙන් සැරසී සිටිය යුතු විය. රජ්නීෂ් ලැබූ මේ සාර්ථකත්වය සාම්ප්‍රදායික හින්දු ජනතාවගේ තැති ගැන්මට හේතු විය. ප්‍රමෝදයට පත් ඔහුගේ ශ්‍රාවකයන් නිරුවතින් නටන ඡායාරූප දේශීය හා විදේශීය පුවත්පත්වල පළ විය. කාමෝද්දීපන උත්සව පවත්වන ගුරුතුමකු ලෙසට නොයෙකුත් අවලාද ඔහුට නැගෙන්නට විය. පූනේ නගරය කෙමෙන් උණුසුම් වන්නට විය.

Quora
පූනේ හි ඕෂෝ කොමියුනය| Quora

එවකට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය තනතුර දැරුවේ මොරාජි දේසායි ය. එතරම් උගත් කමක් හෝ දර්ශනයක් නොතිබුණු ඔහු රජ්නීෂ් ගැන අප්‍රසන්න ආකාරයෙන් කතා කළේය. රජ්නීෂ් ඒවා අවඥාවට ලක් කළේය. ඔහුට දේශපාලනඥයන් හා ශුද්ධවන්තයන් යැයි එකල ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් ගැන තිබුණේ පහත් හැඟීමකි. අවසානයේ රජ්නීෂ් ඉන්දියාවේ නික්ම තමාට වඩාත් යෝග්‍ය වූ පරිසරයක සිය කොමියුනය ඇරැඹීට තීරණය කළේය.

1981 දී ඔහුගේ ඇමරිකා ශ්‍රාවකයන් පිරිසක් ඔරේගන් නගරයේ අක්කර 64000 ක ගොවිපොළක් මිලදී ගෙන එය රජ්නීෂ්පුරම් ලෙස නම් කළේය. එහි වාර්ෂිකව පැවැත්වෙන උත්සවයට ලෝකයේ නන් දෙසින් බොහෝ පිරිසක් පැමිණියහ. පෙරදිගින් පැමිණි මේ ගැළවුම්කාරයා පල්ලියේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට මහත් අභියෝගයක් විය. කොමියුනයේ සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය හා විවිධ ලිංගික චර්යාවන් ගැන කටකතා සීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. මේ කිසිවක් කිසිදු අධිකරණයකදී ඔප්පු කිරීමට බැරි වුවද, ප්‍රබන්ධ ලියන ලේඛකයන්ට විවිධ වස්තුබීජ සැපයීය.

Haaretz
Haaretz

ඇමරිකන් රජය කවදත් නව ආගමික නිකායන් දෙස බැළුවේ සැක මුසු බැල්මකි. ඒ අතරින් රජ්නීෂ්පුරම් වඩාත් කැපී පෙනෙන්නට වූයේ බොහෝ ධනවතුන් හා සුප්‍රසිද්ධ පුද්ගලයන් ඒ වෙත ආකර්ෂණය වූ හා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන විශාලතම ආගමික මධ්‍යස්ථානය එය වූ බැවිනි. රජ්නීෂ් මේ වන විට භගවාන් ලෙස හැඳින්විණි. ඇමරිකානු ධනවත්තු ඔහු වෙත වටිනා ත්‍යාග පිරිනැමූහ. ඒ අතර අධි සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් හා රෝල්ස්රොයිස් වැනි රථ වාහන ද විය. එවැනි රථ සියයකට වැඩි ප්‍රමාණයක් රජ්නීෂ්පුරම් සතුව පැවති බව ප්‍රකට ය. රජ්නීෂ්පුරම් සියලු අත්‍යාවශ්‍ය අංගවලින් සමන්විත සුඛෝපභෝගී නගරයක් බවට පත්විය. එය සිනමා ශාලා, ආපනශාලා, රූපලාවන්‍යාගාර, පාසල් හා පිහිනුම් තටාක වලින් සමන්විත විය.

‘‘මගේ ආශ්‍රමය වෙනස්. ඒකෙ ඉන්න උදවිය ඉන්නේ හරිම ප්‍රීතියෙන්. ඔවුන් පසුවන්නේ නටමින්, ගී කියමින්, අත්වැල් බැඳ ගනිමින් හා එකිනෙකා සිප වැළඳ ගනිමින්. මෙහි ඇත්තේ ප්‍රේමය හා සතුට. පෙරදිග ආශ්‍රමයක් මෙයට වඩා බොහෝ වෙනස්. එහි සතුටක් ඇත්තේම නැහැ. එහි ඇත්තේ උයනකට වඩා කනත්තක ඇති ස්වභාවයයි.“

1985 දී ඇමරිකා රජය ඔහුට විරුද්ධව සිය මෙහෙයුම ආරම්භ කළේය. ආගමන විගමන නීතිය කැඩීම යටතේ චෝදනා තිස් පහකට වරදකරු කරමින් ඔහු අත්අඩංගුවට ගැනිණි. දවස් දාහතක් සිර බාරයේ තබාගත් අවසන ඔහු රටින් පිටුවහල් කිරීමට තීන්දු විය.

රජ්නීෂ් නැවත ඉන්දියාවට පැමිණියේ සිය ආශ්‍රමය නැවත පටන් ගන්නේ කොතැනකදැයි බලවත් සැකයකින් යුතුව ය. 1986 පෙබරවාරි මාසයේදී ඔහු ලෝක සංචාරයක් පටන් ගත්තේ කිසියම් තැනක නව රැකවරණයක් බලාපොරොත්තුවෙනි. රටවල් විසි එකකින් ඔහුට වීසා දීම ප්‍රතික්ෂේප කෙරිණි. 1987 දී නැවතත් සිය ආශ්‍රමය පූනේ නගරයේදී ආරම්භ කළේය. එය වර්තමානයේදී ‘‘ඕෂෝ අන්තර්ජාතික කොමියුනය‘‘ (Osho Commune International) නමින් හැඳින්වේ.

මම පූනේ නගරයේ පිහිටි රජ්නීෂ්ගේ කොමියුනය වෙත යන විට රජ්නීෂ්, භගවාන් නමැති ගෞරව පදය අත්හැර ඕෂෝ යන ජපන් නම භාවිතයට ගෙන තිබිණි. එය එතරම් පහසුවෙන් පරිවර්තනය කළ හැකි නමක් නොවේ. ‘‘ඕ‘‘ යන්නෙන් අර්ථ දැක්වෙන්නේ ආදරය, ගෞරවය හා කෘතඥතාවය ය. ‘‘ෂෝ‘‘ යනු නන් දිසාවන්ට විහිද යන විඥානයත් හැම අතින්ම උතුරා කඩා හැලෙන පැවැත්මත් ය. පසුව ඔහු රජ්නීෂ් යන නම ද අතහැර ඕෂෝ යන නමින් පමණක් පෙනී සිටියේය.

1988 වන විට ඔහු කිව යුතු සියල්ල පවසා නිම කර තිබිණි. ඔහු ප්‍රසිද්ධ ජීවිතයෙන් බැහැර විය. ඔහු දේශනා කළේ කලාතුරකිනි. ඔහු කවදත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු නොවීය. දියවැඩියාව හා ඇදුම යන රෝග තත්ත්වයන් ඔහුට පීඩා කරන්නට පටන් ගෙන තිබිණි. ඕෂෝ ඇමරික් සිරභාරයේ පසුවන විට තැලියම් නමැති විෂ, ආහාර මගින් ශරීරගත කරන්නට ඇතැයි ඔහුගේ ශ්‍රාවකයෝ විශ්වාස කළහ. කිසිදු රසක් නොමැතිව මේ භයානක විෂ ද්‍රව්‍යය සිරුර තුළ සැඟවී සිට කෙමෙන් සිරුර විනාශ කරන්නට පටන් ගනියි. ඉතාමත් හොඳ වෛද්‍ය ප්‍රතිකාර ඔහු වෙත ලැබුණද ඔහුගේ ශරීර සෞඛ්‍යය ඉතා වේගයෙන් පිරිහෙන්නට විය. ඔහු අවසන් ප්‍රසිද්ධ දේශනය කළේ 1989 අප්‍රියෙල් මාසයේදී ය.

ඔහු මිය යන්නට සති දෙක තුනකට පෙර, ඔහුගේ මරණයෙන් පසුව ඔහු කළ වැඩ කොටසට සිදුවන්නේ කුමක්දැයි කිසිවෙක් ඇසීය. ‘‘පැවැත්ම කෙරෙහි මා තුළ ඇති විශ්වාසය අසීමිතයි. මා කියන දේ තුළ කිසියම් සත්‍යයක් ඇත්නම් එය නොමැරී ඉතිරි වේවි. මගේ වැඩ ගැන උනන්දුවක් දක්වන කිසිවෙකු ඇත්නම් මා දැල්වූ ගිනි සිළුව නොනිවෙන්නට ඉඩ නොදී ඔවුන් ඉදිරියටම රැගෙන යාවි. එහෙත් කිසිවක් කිසිවෙකු පිට බලහත්කාරයෙන් පැටවීම කළ නොයුතුයි.

මා කෙරේ විශ්වාස කරන මිනිසුන් හට මා අනුප්‍රාණයක් (Inspiration) සේ රැඳී සිටිනවා. එය මාගේ ශ්‍රාවකයන්ට දැනේවි. ඔවුන් ස්වයං වර්ධනයක් ලබාගත යුතුයි. විශේෂයෙන්ම ආදරය වගේ ගුණාංග. ඒවා කිසිදු පල්ලියක්, කෝවිලක් වටා නොතැනෙන දේවල්. දැනීම හෙවත් සතිය… ජීවිතය උත්සවාකාරයෙන් සැමරීම. ළමයින් මෙන් අවිහිංසක නෙත් සඟලක් සතු කර ගැනීම. ඒවා කාගේවත් ඒකාධිකාරයන් නොවේ.“

1991 දුරුතු මස 19 වැනි දින පස්වරු පහට අවසන් හුස්ම හෙළීමට මත්තෙන් ඔහු මෙසේ කීවේය. ‘‘මගේ සිහිනය මම ඔබ සමග තබා යමි.“

සිය මරණය වෙනුවෙන් හඬා වැළපීමත් ශෝක වීමත් ඔහු තහනම් කර තිබිණි. එක්තරා සැඳෑ යාමයක ඔහුගේ ශ්‍රාවකයන් සමූහයා ගී කියමින්, නටමින් ඔහුගේ දෙණ ආශ්‍රමයෙන් පිටතට ගෙන ආහ. දරසෑය ඔහුගේ සහෝදරයා වූ ස්වාමි විජය භාරතී දැල් වූ අතර, පසුදින ඔහුගේ භස්මාවශේෂ ආශ්‍රමයට රැගෙන එන ලදී.

* * * * *

ඕෂෝගේ ඉගැන්වීම් එක් පරිච්ඡේදයකට ගොනු කිරීමට ප්‍රයත්න දැරීම සාගර දිය කඳ තේ කෝප්පයකට එක් රැස් කිරීමක් හා සමාන ය. අවුරුදු තිස් පහක් පුරා පැවැත්වූ විවිධ දේශන ද ශ්‍රාවකයන් හා බැහැදකින්නන් ඔහුගෙන් ඇසූ විවිධ ප්‍රශ්නවලට සැපයූ පිළිතුර ද සිතා ගැනීමට පවා අපොහොසත් ඉමහත් විෂයන් සංඛ්‍යාවක් හසු කර ගත්තේය. මේවා ඉතාමත් විශ්වාසවන්ත අයුරින් පටිගත කර පසුව මුද්‍රණය කරන ලදී. ඕෂෝ විසින් කරන ලද දේශන හා ඇසූ ප්‍රශ්නයන්ට දුන් පිළිතුරු ඇසුරෙන් සැකසුණු පොත් සංඛ්‍යාව හයසියයකට වඩා වැඩි ය. ඔහුගේ දේශන අඩංගු වීඩියෝ පට ද ඉතා ප්‍රචලිත ය. ඔහු බොහෝ දේශන පදනම් කර ගත්තේ ඉපැරණි ආගම් ග්‍රන්ථයන් හි ඇති පාඨයන් විස්තර කිරීමට ය. ඔහුගේ දෙසුම්වල ඇති ගැඹුර හා බහුශ්‍රැත බව පිළිබඳව මට පෞද්ගලික සහතිකයක් දිය හැකිය.

මම එක්තරා කලෙක ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද (පටිගත කරන ලද) ගුරු නානක්ගේ යාච්ඥාවන්ට ඇහුම්කන් දුන්නෙමි. එතෙක් නොඇසූ සියල්ල ඉතා ගම්භීරව සවන් දුන්නා යැයි මම සිතාගත්තෙමි. ඒ ඕෂෝගේ කටහඬ ඇසෙන තෙක් පමණි. උපනිෂද් හි හැම පේළියකම ඇති ගුප්ත හා ගැඹුරු තේරුම් ඕෂෝගේ කටහඬින් නිරවුල් ව ගලා ආවේය. මම මවිතයට පත් වූයෙමි. කිසිම සීක් ගුරුවරයෙකු එවැනි ගැඹුරකට දහම තේරුම් කර දී නැත. (කුෂ්වාන්ත් සිං සීක් ජාතික ලේඛකයෙකි)

එවැනි ගැඹුරක් ස්පර්ශ කරමින් ඕෂෝ දේශනා කළ ද ඔහුගේ ශ්‍රාවකයන් හා බැහැ දකින්නන් විසින් ඉදිරිපත් කරන ලද ඕනෑම ලෞකික ප්‍රශ්නයකට වුවද ඕෂෝ පිළිතුරු දීම කෙනෙකු මවිතයට පත්කරවන සුලු ය. කිසිවක් ඔශු සුළුකොට නොතැකීය. පෙම් සබඳතාවක් බිඳ වැටුණු තරුණයෙක් ඒ ගැන කුමක් කරන්නේදැයි ඔහුගෙන් අසයි. විවාහක සැමියෙක් හෝ බිරිඳක් තමන් තවෙකෙක් සමග අනියම් සබඳතා පැවැත්වීමෙන් පව් සිද්ධ වන්නේදැයි විමසයි. තවෙකෙක් ආදරය ගැන ප්‍රශ්න කරයි. එය රාගයෙන් වෙනස් වන්නේ කෙලෙසදැයි විමසයි.

රත්තරන් අනාගතයක් යන මැයෙන් පළවුණ සිය දේශනා අඩංගු කෘතියෙහි එන අදහස් ඇසුරෙන් ඕෂෝ අපට කොතරම් වටිනා පුද්ගලයෙක්දැයි නිගමනය කළ හැකිය.

‘‘මම හිතන විදිහට මේ ප්‍රශ්නෝත්තරවාදයන් හරිම වැදගත්. ඒ ප්‍රශ්න ඔබට සම්බන්ධ දේවල්. ඒවා ඔබේ වැඩීමට අවශ්‍යයි. ඔබ අඳුරේ අතපත ගාමින් සිටිනවා යන්නට මාර්ගයක් සොයමින්. ඔබට සරතුස්ත්‍රා හෝ ඛලීල් ගිබ්රාන් ගේ මට්ටමෙන් ප්‍රශ්න අහන්නට පුළුවන් කමක් නැහැ. මම පිළිතුරු දිය යුත්තේ ඔබ දැනට ජීවත් වන යථාර්ථයට ගැළපෙන විදිහට.

සරතුස්ත්‍රා හෝ ඛලීල් ගිබ්රාන් වැනි අයට සවන් දීම ඉතා හොඳ දෙයක්. එවිට ඔබේ දෙනෙත් කඳුලින් පිරේවි. ශ්‍රේෂ්ඨ හැඟීම් ඇති වේවි. එහෙත් ඒ සියල්ල මොහොතින් නැති වෙලා යනවා. ඔබ ඉන්නේ පරණ පුරුදු තැනමයි. ඔබේ කිසිදු වෙනසක් වෙලා නැහැ. මම බුදුන් වහන්සේ හෝ සරතුස්ත්‍රා ගැන ඇතැම් වේලාවක කතා කරන්නේ මිනසුන් තොතරම් ඉහළකට ගොස් ඇත්දැයි කියන එක ගැන ඔබ තුළ හැඟීමක් ඇති කරන්න. ඈත අහසේ දිලෙන තාරුකා පිළිබඳ හැඟීමක් ඇති කරන්න. ඒවා අප හිතන තරම් දුර නැහැ. අපි වගේම මිනිස් පිරිසක් තමයි එතැනට ගිහිල්ලා තියෙන්නේ. එය තියෙන්නේ අපිට ග්‍රහණය කර ගැනීමට හැකි දුරකයි.

මම ඒකයි බුදුන් වහන්සේ, බෝධි ධර්ම හෝ දහසක් එවැනි අය ගැන නිතර කතා කරන්නේ. ඔබ තුළ ආසාවක් හැඟීමක් ඇති කරන්න. ආසාවක් විතරක් වැඩක් නැහැ. මම මාර්ගයක් කියලා දෙන්න ඕනෑ. ඒ වගේම දැනට ඔබ වැටිලා සිටින මඩ ගොහොරුවෙන් එළියට ගන්න ඕනෑ. ඔබේ හැම තැනකම විසිරිලා තියෙන කොටස් ටික එකතු කරලා මාර්ගය වෙත තල්ලු කරන්න ඕනේ. ප්‍රශ්නෝත්තර වාරයන් මේ සඳහා හරිම වැදගත්. ඒවා ඔබේ වැඩීම හා දියුණුව උදෙසා සෘජුවම අදාළයි“ (ඔහුගේ බොහෝ පොතපත සැකසී ඇත්තේ පළමුව කිසියම් ගැඹුරු ආගමික කරුණක් ගැන කතා කිරීමත් දෙවැනුව අසන්නන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමත් යන ක්‍රමවේදය භාවිතා කරමිනි)

සිය භස්මාවශේෂ තැන්පත් කිරීමට නියමිත තැන ඵලකයේ ලිවිය යුතු දේ සිය මරණයට නව මසකට පෙර මෙසේ සනිටුහන් කර තිබිණි.

‘‘කිසිදා නූපන් – මිය නොගිය ඕෂෝ
1931 උඳුවප් මහේ 11 දින සිට 1991 දුරුතු මහේ 19 දා තෙක්
පෘථිවියේ සංචාරය කළ වග ය.‘‘

ඔහුගේ කොමියුනයේ අනාගතය කුමක් වුවද එය කවරකු පාලනය කළ ද ලෝකයේ සතර දිග්භාගයේ ජීවත් වන ඕෂෝට ආදරය කරනා මිලියන ගණනක සහෘදයන්ට එය ඉතා ගෞරවනීය වන්දනා ස්ථානයක් බව කිව යුතුය. ඔහුගේ සිහිනය පෝෂණය කරනු ලබන්නේ මතු පැමිණෙන මිනිසුන් විසින් බව පැවසිය යුතුය.

  • කුෂ්වාන්ත් සිං නමැති සුප්‍රකට ඉන්දීය ලේඛකයා ඕෂෝ පිළිබඳ තැබූ සටහනකි.

‘‘OSHO අමුතු තරණය – සෙන් සිදුවීම් ඇසුරෙන්” | පරිවර්තනය : ෂර්ලි චන්ද්‍රා ප්‍රනාන්දු | උපුටා ගන්නා ලදී.

පෙර ලිපිය මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි