×

දිනකට වරක් සොසේජස් කෑවොත් බඩවැල් පිළිකා අවදානම 5 ගුණයකින් ඉහළට

‘රතු මස්‘ එහෙමත් නැතිනම් රෙඩ් මීට් විදිහට හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ගව මස්, ඌරු මස් වැනි රතු පැහැයෙන් යුක්ත මස් වර්ගයි. ඒවා සෞඛ්‍යයට හානිකර බවට පළ වන මත බොහොමයි.


විශේෂයෙන්ම සොසේජස්, බේකන් වැනි ‘සකස් කළ‘ මස් වර්ග (processed meat) හදන්නෙත් රතු මස් යොදාගනිමින්.

මේ සම්බන්ධව කළ අලුත්ම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීමට අනුව දවසකට එක් වතාවක් මේ අන්දමින් රතු මස් ආහාරයට ගැනීම නිසා බඩවැල්වල පිළිකා ඇතිවීමේ අවදානම 5 ගුණයකින් ඉහළ යනවා. ඒ බව සනාථ කරන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් පළ කළ අලුත්ම පර්යේෂණ වාර්තාවක් මගින්.

ආන්ත්‍රික පිළිකා, අතුණු බහන් පිළිකා යන නම්වලින් හඳුන්වන්නේත් මේ බඩවැල්වල හටගන්නා පිළිකා වර්ගමයි.

මෙම පර්යේෂණය සුළුපටු එකක් නෙවෙයි. මේ සඳහා පර්යේෂකයන් අවුරුදු 6 ක් තිස්සේ ලෝක ජනගහනයෙන් මිලියන බාගයක් දෙනාගේ ආහාර පුරුදු සහ සෞඛ්‍යය නිරීක්ෂණය කරනවා. ඔවුන් මේ නිගමන ප්‍රකාශයට පත්කරන්නේ එයින් පසුවයි. එයින් පැහැදිලි වන්නේ, දවසකට බේකන් පෙති 3 ක් (three rashers of bacon a day) බැගින් ආහාරයට ගතහොත්, එයින් පමණක්ම ඒ පුද්ගලයාගේ අතුණු බහන්වල එනම් බඩවැල්වල පිළිකා ඇතිවීමේ අවදානම 20%කින් ඉහළ යන බවයි.

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය (Cancer Research UK) විසින් අරමුදල් සැපයූ මෙම අති දැවැන්ත පර්යේෂණයේ ප්‍රතිඵල මිනිසාගේ සුව දිවිය සඳහා යොදාගත හැක්කේ කොහොමද? වෛද්‍යවරුන් මෙසේ කියනවා.

‘‘රතු මස් සහ සකස් කළ (ප්‍රොසෙස්ඩ්) මස් වර්ග සතියකට දෙවතාවකට වඩා කෑමට ගන්න එපා!“ එය තමයි, ඔවුන් අවසානයේ දෙන ඔවදන.

Valentin Bosioc
Valentin Bosioc

රතු මස්වල පෝෂණීය ගුණය ගැනත් මෙහිදී යමක් කිව යුතුමයි. ලේ ධාතුවෙන් පොහොසත් රතු මස් විටමින් B සහ D, ප්‍රෝටීන්, යකඩ, සින්ක් යනාදියෙන් සමන්විතයි. එනිසා ඒවා සම්පූර්ණයෙන්ම ආහාර වේලෙන් කපා හැරීමත් සුදුසු නැහැ.

නමුත් රතු මස් හා සබැඳි ආහාර සංස්කෘතියත් මේ පිළිකා අවදානම තවදුරටත් ඉහළ දමනවා. උදාහරණක් විදිහට මස් වර්ග බාබකියු කිරීම හේතුවෙන් පිළිකා කාරක වන කාසියෝජෙනික් රසායනික ශරීර ගත වන්නට පුළුවන්. ඒ වගේම සොසේජස්, බේකන්, සලාමි වැනි සකස් කළ ආහාර, සුපිරි වෙළඳසැල් හෝ ශීතකරණ තුළ ඇතැම්විට මාස ගණනක් නරක් නොවී තබාගත හැකි වන පරිදි කල් තබාගන්නා රසායනික අන්තර්ගත කර තිබෙනවා.

එංගලන්තය තුළ පමණක් වසරකට බඩවැල්වල පිළිකා වැළඳුණු රෝගීන් වසරකට 42,000 ක් පමණ වාර්තා වෙනවා. ඒ වගේම 60 දශකයෙන් පසුව ඉපදුණු සෑම පුරුෂයන් 15 දෙනෙකුගෙන්ම එක් අයෙක් සහ, ස්ත්‍රීන් 18 දෙනෙකුගෙන් එක් අයෙක් බඩවැල්වල පිළිකා රෝගි තත්වයට ගොදුරු වන බවත් වාර්තා වෙනවා. ඒ නිසා මේ සොයාගැනීම මගින් නිරෝගිමත් ජීවිතයකට එකතු කර ගත හැකි දේ බොහොමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි