×

ප්‍රංශ ජනපතිගේ මොළය පරීක්ෂා කිරීමට ඉල්ලන ආගමික උන්මත්තකයෝ

ප්‍රකාශනයේ නිදහස ප්‍රජාතාන්ත්‍රික සමාජයේ අත්‍යාවශ්‍ය සංචරකයකි. නමුත් ඔවුන්ගේ ඇදහිල්ල තිබෙන්නේ ඒ සියල්ලටම වඩා උඩිනි.


ප්‍රංශයේ තිදෙනෙක් ඊයේ බෙලි කැපුම් හා පිහි ඇනුම් මැද මරු දුටුවේය. සති තුනකට පමණ පෙර ප්‍රංශයේ ඉතිහාසය ගුරුවරයෙකු වූ සැමුවෙල් පැටී ගේ ද ගෙළ කපා මරා දමා තිබුණේය. 2015 ජනවාරි මාසයේදී ප්‍රංශයේ ඉතා ජනප්‍රිය උපහාසාත්මක කාටුන් පළ කරන පුවත්පතක් වූ චාලි හෙබ්දෝ හි කර්තෘ මණ්ඩලය ඝාතනය කෙරුණේය. පාසල අසලදීම සැමුවෙල් පැටීගේ ගෙළ කපන්නේ එම නඩු විභාගය ආරම්භ වන විට එයට පණිවුඩයක් ලෙස ය. ඔහු, ශුද්ධ වූ මහම්මුත්තුමාගේ කාටුන සහ පින්තූර භාවිතා කරමින් ප්‍රංශ දරුවන්ට ප්‍රකාශනයේ නිදහස ගැන කියා දෙමින් සිටියේය.

චාලි හෙබ්දෝ නඩු විභාගය ආරම්භ වන දවසේ සන්ධ්‍යාවේ, චාලි හෙබ්දෝ පුවත්පත, අතිශය මතභේදයට ලක් වූ මහම්මද්තුමාගේ කාටූන පෙළ නැවත ප්‍රකාශනය කළේය. ඒ ආසන්නම දිනයකදී එහි ඔන්ලයින් සංස්කරණයේ තුර්කි ජනපති තායිප් එර්දොගාන්ගේ කාටූනයක් ද මුල් පිටුවේ පළ කළේය. එර්දොගාන් ගේ මාධ්‍ය ප්‍රධානියෙක් එය හෙළාදුටුවේ ‘‘මේ පුවත්පත විසින් කරන ලද වඩාත්ම පිළිකුල් සහගත ප්‍රකාශනය‘‘ යනුවෙනි.

සියල්ල පටන් ගත්තේ ඔක්තෝබර් මාසය මුල එම්මානුවෙල් මැක්‍රොන් විසින් සිදුකළ කතාවක් නිසා ය. ඔහු එහිදී කියා සිටියේ ‘ඉස්ලාමීය බෙදුම්වාදය‘ට එරෙහිව සටන් වැදීමට ප්‍රංශය සූදානම් බවයි. ඇදහිල්ල අද දිනය වන විට ලෝකය පුරාම අර්බුදයට ලක්ව ඇතැයි ද ඔහු එහිදී පැවසුවේය.

සැමුවෙල් පාටි ගෙළ සිඳ මරා දැමුවේ මැක්‍රොන්ගේ මේ කතාවට පසුදා රාත්‍රියේ ය. එහි සැකකරු චෙච්නියානු සම්භවයක් සහිත මුස්ලිම් තරුණයෙකු විය.

මොළය පරීක්ෂා කර ගන්න!

තුර්කි ජනපති තායිප් එර්දොගන් සහ ප්‍රංශයේ මැක්‍රොන් අතර තිබෙන විරසකය අද ඊයේ නැගුණක් නොවේ. තුර්කියේ ඇන්කාරා නුවර මෙහෙයුම් සිරියාවේ ක්‍රියාත්මක ය. ඔවුන්ගේ ඉලක්කය, තුර්කියෙන් වෙනම කොටසක් ඉල්ලා සිටින කුර්දි සටන්කාමීන් සංහාරය කිරීමයි. මේ අතර සිරියාවේ මෙහෙයුම් සඳහා නේටෝ සංවිධානය සම්බන්ධ ය. ප්‍රංශය නේටෝවේ සාමාජිකයෙකි. සිරියාවේ නේටෝ මෙහෙයුම් විවේචනය කරමින් එර්දොගාන් 2019 නොවැම්බර් 30 දා කිව්වේ මැක්‍රොන්ගේ මොළය මැරී ඇති බවත් එය පරීක්ෂා කර ගත යුතු බවත් ය. මැක්‍රොන්ගේ මොළය පරීක්ෂා කර ගත යුතුය යන අවමන් සහගත ඉල්ලීම දැන් නැවතත් නැගෙමින් තිබේ.

තමන් උන්මත්තකයෙකු වූ විට අනෙක් කෙනාගේ මොළය පරීක්ෂා කරන්නට කීම ලෝක දේශපාලනයේද සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබේ.

‘‘පැරිසියේ යක්ෂයා‘

ප්‍රංශය නිරාගමික රටකි. මේ සිදුවීමෙන් පසු තූලූස් සහ මොන්ට්පෙලියර් යන ප්‍රංශ නගර දෙකේ නගර සභා ගොඩනැගිලිවල චාලි හෙබ්දෝ කාටූන ප්‍රොජෙක්ටර හරහා ප්‍රදර්ශනය කෙරිණි. ‘‘කාටුන ප්‍රකාශනයේ නිදහසේ පිළිබිඹුවක්. අප කාටූන අත්හරින්නේ නැහැ..‘‘ යැයි මැක්‍රොන් පැරිසියේදී කීවේය.

දැන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් දුෂ්ටයා ද යක්ෂයා ද වී සිටින්නේය. ඉරානයේ දැඩි මතධාරී පුවත්පතක් ඔහුව හඳුන්වා තිබුණේ ‘‘පැරිසියේ යක්ෂයා‘ යනුවෙනි. බංග්ලාදේශයේ ඩකා නුවර වීදිවලදී ජන විරෝධය නැගී තිබුණේ ‘‘සාතන්ට වැඳුම්පිදුම් කරන්නා‘‘ යනුවෙනි. 40,000 කට අධික පිරිසක් ඩකා අගනුවර උද්ඝෝෂණයේ යෙදුණු අතර එම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ රටේ විශාලතම ඉස්ලාමීය පක්ෂය විසිනි.

A protest in the West Bank city of Ramallah, Palestine, against president Macron’s remarks on 27 October.Abbas Momani AFP Getty Images

‘‘මහම්මද් තුමාව චිත්‍රයට නැගීම තහනම්.‘‘ ඉස්ලාමීය පක්ෂයේ නායක ක්වාසියම් කීවේය. ‘‘ඔවුන් මොකද කළේ? ලැජ්ජා සහගත විදිහට මහම්මුද්තුමාව ඇන්දා විතරක් නෙවෙයි, පොලිස් ආරක්ෂාව ඇතිව ඒවා නගරයේ ගොඩනැගිලිවල ප්‍රදර්ශනයත් කළා. මේක මහා නින්දාවක්..‘‘

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටා තිබෙන ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිටදී ප්‍රංශ කොඩිය පුච්චා දමනු ලැබුවේය.

දැන් මුස්ලිම් ලෝකයේ දැඩි මතධාරීන් සහ එම්මානුවෙල් මැක්‍රොන් අතර යුද්ධයක් තිබේ. ඉස්ලාම් ලෝකය ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන ලෙස නියම කර තිබෙන අතර ඒ නියෝගය අකුරටම ක්‍රියාත්මක වේ. බංග්ලාදේශය වැනි රටවල ප්‍රංශ භාණ්ඩ දුටු තැන වනසනු ලැබේ.

ඇෆ්ගනිස්ථානයේ හෙරාත් නුවර තදබදය පිරුණු වීදිවල පටන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ඉස්ලාම් උගතුන් සිටින සරසවි දක්වා මේ හැම තැනම දැන් ප්‍රංශ විරෝධයකි.

මුස්ලිම් බහුතරයක් සහිත රටවල ජීවත් වන ප්‍රංශ පුරවැසියන්ගේ ජීවිත ද අනතුරේ ය.

ප්‍රකාශනයේ නිදහස, අන්‍යයන්ගේ ආගමික විශ්වාසයන්ට නිගරු කිරීම දක්වා දීර්ඝ නොවිය යුතු බව ඉස්ලාම් ලෝකයේ මේ පිළිබඳ නැගෙන ප්‍රතිතර්කයයි. එය ඔවුන්ට අනුව දේවාපහාසයකි. කිසිසේත්ම නොඉවසිය යුත්තකි.

ඊයේ දිනයේ ප්‍රංශයේ Nice නගරයේ නොත්‍රදාම් බැසිලිකාවේදී කාන්තාවක් දෙදෙනෙක් සහ පුරුෂයෙක් මරා දැමූ සිද්ධියෙන් පසුව මැක්‍රොන් කීවේ සිය රට කිසිදු විටෙක ත්‍රස්තවාදය නොඉවසන බවයි.

People light candles outside the Notre-Dame de l’Assomption Basilica in Nice in tribute to the three victims. Valéry Hache AFP Getty

නොත්‍රදාම් බැසිලිකාවේ ඝාතකයා

ඊයේ ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ඝාතකයා බැසිලිකාවට පැමිණ තිබුණේ සෙන්ටිමීටර 17 ක් දිගැති තියුණු අවියක් අත දරා ය. එයින් 60 හැවිරිදි කාන්තාවක් ද ඝාතනය කෙරිණි. ඇය ඝාතකයා දේවස්ථානය තුළ සිටියදී එයට ඇතුළු වී තිබෙන අතර, ඇගේ ගෙළේ ඉතා ගැඹුරු කැපුම් තුවාළ විය. සිද්ධිය ඇසින් දුටු අය පැවසුවේ ඇගේ හිස, කඳෙන් වෙන් කරන්නට ඝාතකයාට අවශ්‍ය ව තිබූ බවයි. මේ අතර, කිහිප වතාවක් පිහි ඇනුම් කෑ බ්‍රසීල ජාතික සිමොන් බැරෙටෝ සිල්වා ප්‍රහාරය අතරතුරදී අසල වූ තැබෑරුමකට පළා ගියාය. ‘‘මගෙ දරුවන්ට කියන්න මම එයාලට ආදරෙයි කියලා..‘‘ මිය යන්නට පෙර ඇගේ අවසන් වචන ඒවා විය.

21 හැවිරිදි ඝාතකයා ද අවසානයේ දෙව්මැදුර තුළ මළ සිරුරක්ව සිටියේය.

ප්‍රංශුවන් විසින් ඇල්ජීරියානුවන්ගේ සිඳින ලද හිස්, අත දරාගෙන වීර විලාසයෙන් සිටියේ යටත් විජිත සමයේදී ය. සියවස් ගණනකට පෙර ය. නමුත් නූතන ලෝකයේ ඉස්ලාම් අන්තවාදීන් තමන්ගේ ආගම පිළිබඳ සෘජු හෝ වක්‍ර විවේචනයක් පවා ඉවසන්නේ නැත. ඔවුහු ලෝකයේ ඇති ම්ලේච්ඡතම ක්‍රමවලින් එයට ප්‍රතික්‍රියා දක්වති.

මේ ම්ලේච්ඡ පළිගැනීම්වල අවසානය කුමක්ද?

‘රිලිජස් ෆැනටික්ස්‘ හෙවත් ආගමික උන්මත්තකයන් හැර ඔවුන්ට කියන්නට වෙනත් නමක් තිබෙනවාද? ආගමික නිදහස සහ ආගමික උන්මත්තකභාවය යනු එකක් නොව දෙකක් බව වටහාගන්නා දිනය වන තෙක් තව කී දෙනෙක් පිහි ඇනුම් කෑ යුතුද? ප්‍රකාශනයේ නිදහස සහ ඇදහිල්ලේ නිදහස අතර පරතරය දශමයක් වන තැන අප දැනගන්නේ කෙසේද? සෑම වර්ගයකම අන්තවාදයන් එක සේ නරක බව අප වටහාගන්නේ කවදාද?

මූලාශ්‍ර-

‘Tell my children I love them’: the victims of the Nice attack

As tension rises, thousands of Muslims protest French cartoons – Al Jazeera

France will not give in to terror after Nice attack, Macron says

Macron is in a state of ‘brain death’, Erdogan says

Anger towards Emmanuel Macron grows in Muslim world



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි