×

කොරෝනා රෝගීන්ට එබෝලා ඔසුවලින් ප්‍රතිකාර කිරීම ඇරඹේ

‘‘වසංගතය ආරම්භ වීමෙන් පසු අප විසින් තබන දැවැන්තම පියවර මෙයයි‘‘ - සෞඛ්‍ය ඇමති


කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූ රෝගීන්ට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගත නොහැකි තැන එක්සත් රාජධානිය විසින්, ඔවුන්ගේම භාෂාවෙන් කියන්නේ නම් ‘දැවැන්ත පියවරක්‘ තබා තිබේ. එය නම්, කොරෝනා රෝගීන් හට එබෝලා ඖෂධවලින් ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමයි.

මේ බව ප්‍රකාශ කරන්නේ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසිනි.

 

මේ අනුව ප්‍රතිවෛරස් remdesivir නමැති ඖෂධය යොදගෙන මෙම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබේ. මෙම ඔසුව නිපදවනු ලැබුවේ එබෝලා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ය. නමුත් කොවිඩ්-19 රෝගීන් සම්බන්ධයෙන් අත්හදා බැලූ විට පෙනී ගියේ, මෙම ඔසුව, රෝග ලක්ෂණ පවතින දින 15 ක කාලය දින 11 ක් දක්වා අඩු කිරීමට සමත් වන බවයි.

ඒ අනුව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය වන NHS හි රෝහල් ගණනාවක සිටින, බරපතළ ලෙස කොවිඩ්-19 රෝගී තත්වයෙන් පෙළෙන වැඩිහිටියන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා remdesivir දැනටමත් ලබා දී තිබේ.

මෙම ඔසුව ඇමරිකාවේ නිපදවන්නකි. මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ එක්සත් රාජධානිය මේ වන විට ඇමරිකාවේ දැනටමත් නිපදවන එබෝලා ඔසුවකින් සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නා විට, ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දියාවේ මෝදි, මැලේරියා රෝගීන්ට ලබාදෙන ක්ලෝරොක්වීනීන් වලින් තවමත් ප්‍රතිකාර කරමින් සිටීමයි.

මේ අතර, ඊයේ (26) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබුණේ, ලෝකයේ මහාද්වීප 4 ක අත්දැකීම් අනුව, උග්‍ර අතුරු ආබාධ සහිත ක්ලෝරොක්වීනීන් ඔසුව, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා නොගත යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි