×

බ්‍රිතාන්‍යයේ නව අගමැතිගෙන් යුක්රේනයට පවුම් මිලියන 50ක යුධ ආධාර

බ්‍රිතාන්‍යය දැනට එක්සත් ජනපදය හැරුණු විට යුක්රේනයට විශාලතම හමුදා ආධාර සපයන්නා වේ.


එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය රිෂී සුනක් අගමැති වීමෙන් පසු කියෙව් හි සිය පළමු සංචාරයේදී පවුම් මිලියන 50 ක ආරක්ෂක ආධාරයක් ලබා දෙන බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිහට පොරොන්දුව ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානිය යුක්රේනයට සිය සහය අවශ්‍ය වනතාක්කල් ඒ වෙනුවෙන් පෙනී සිටින බව නව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මෙම ආධාර පැකේජය රුසියානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව ලබා දෙන අතර එයට ඩ්‍රෝන යානා, රේඩාර් මෙන්ම ඉරානය විසින් සපයනු ලබන මාරාන්තික ඩ්‍රෝන යානා වලට එරෙහිව සටන් කිරීමට ගුවන් යානා නාශක තුවක්කු 125 කින් සමන්විත වන බව පැවසේ.

මීට අමතරව යුක්රේනයේ සේවය කරන එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදාවන්ට පුහුණු දීමනාව වැඩි කරන බව නිවේදනය කළ නව අගමැතිවරයා විශේෂඥ හමුදා වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් කලාපයට යවා විශේෂිත සහාය ලබා දෙන බවත්, මේ වන විට රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් රටතුළ බලශක්ති යටිතල ව්‍යුහයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් විනාශ කර ඇති බැවින්, ඉදිරියේ එළැඹෙන ශිත කාලය වෙනුවෙන් මානුෂීය ආධාරද ලබා දීමට බ්‍රිතාන්‍ය සූදානම් බව මෙහිදී නිවේදනය කර තිබ්ණි.


සංචාරය අතරතුර, සුනක් මහතා යුක්රේනයට ලෝක ආහාර වැඩසටහන වෙනුවෙන් පවුම් මිලියන 12 ක් සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහා පවුම් මිලියන 4 ක් ද ලබා දෙන බවට පොරොන්දුව ඇත.

බ්‍රිතාන්‍යය දැනට එක්සත් ජනපදය හැරුණු විට යුක්රේනයට විශාලතම හමුදා ආධාර සපයන්නා වේ. මේ වන ව්ට දින 120ක් ඇතුළත දැනට සිටින යුක්රේන පුද්ගලයන් 10,000ක් පුහුණු කිරීම අරමුණු කරගත් වැඩසටහනක් ද ඔවුන් විසින් කරගෙන යනු ලැබේ.

රිෂී සුනක් පසුගියදා බාලිහි පැවැති G20 සමුළුවේදී රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් වෙත ප්‍රකාශ කර තිබුණේ රුසියානු හමුදාවන් යුක්රේන භූමියෙන් යා යුතු බවත් මෙය ම්ලේච්ච යුද්ධයක් බවත්ය. එක්සත් රාජධානිය මුල සිටම යුක්රේනය සමඟ සිටි ආකාරය පිළිබඳව තමා ආඩම්බර වන බව නව අගමැති පිළිගනිමින් මෙහිදී යුක්රේන ජනාධිපති ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි