×

බ්‍රිතාන්‍යයේ මහරැජිනටත් වඩා රිෂී සුනාක්ගේ බිරිඳ ධනවත් !

බ්‍රිතාන්‍යයේ චාන්සලර් රිෂී සුනාක්ගේ බිරිඳ වන ආක්ෂාතා මූර්ති, බ්‍රිතාන්‍ය මහ රැජිනටත් වඩා ධනවත් බව හෙළිදරව් වීමත් සමග ආන්දෝලනාත්මක තත්වයක් ඇති ව තිබේ.


එයට හේතුව වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය නීතිය අනුව එරට දේශපාලන නිලයන් දරන්නන් විසින් සිය පවුලේ වත්කම් හෙළිකළ යුතු නමුත් රිෂී සුනාක් මෙම වත්කම් පිළිබඳ කිසිවක් හෙළිකර නොතිබීමයි.

ලන්ඩන් ගාඩියන් පුවත්පත ද මේ පිළිබඳ වාර්තා කර තිබිණි.

පසුගියදා එළිදුටු Infosys සමාගම් ජාලයේ වාර්ෂික වාර්තාවට අනුව ආක්ෂාතා මූර්ති, ටෙක් සමාගම් ජාලයක් වන එහි 0.91%ක කොටස්වල හිමිකාරිය වන්නීය. එම ප්‍රමාණයේ වත්මන් වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 430 කි. Infosys සමාගම් ජාලයේ නිර්මාතෘවරයා වන්නේ ආක්ෂාතා ගේ පියා වන කෝටිපති ව්‍යාපාරික නාරායන මූර්ති ය.

ලන්ඩන් ගාඩියන් වාර්තාවට අනුව ආක්ෂාතාගේ දළ වත්කම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 480 ක් පමණ වේ. මෙය දළ වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 4,200 කට සමාන ය.

නමුත් බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ වත්කම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 350 ක් හෙවත් දළ වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 3,400 ක් බව කියැවේ.

තවත් සැඟවූ වත්කම්

ගාඩියන් වාර්තාවට අනුව මූර්ති සහ ඇගේ පවුලේ අයට ඉන්දියාවේ ඇමසන් සමාගම ඇතුළු තවත් සමාගම් ගණනාවක පවුම් මිලියන 900 කට ආසන්න වත්කම් ප්‍රමාණයක් තිබේ. ඉන්දියාවේ ඇමසන් සමාගමේ ද නාරායන මුර්ති ප්‍රධාන ආයෝජකයෙකි.

නීතිය ඉදිරියේ වරදක්

එක්සත් රාජධානි නීතියට අනුව සෑම අමාත්‍යවරයෙකුම ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ද සියලු වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු ය. දිවුරුම ලබාදෙන අවස්ථාවේදී මෙය කළ යුතු වන්නේ බැඳියාවන් අතර ගැටුම් (conflict of interest) ඇති වීම වළක්වා ගැනීම පිණිස ය.

රිෂී සුනාක් බ්‍රිතාන්‍යයේ ගෞරවනීය නිලයක් ලෙස සැලකෙන British Chancellor of the Exchequer (චාන්සලර් ඔෆ් එක්ස්චෙකර්) ධුරයට පත් වූයේ 2020 පෙබරවාරි මාසයේ ය. මෙම ධුරයට පත් වීමත් සමග ඔහු ජ්‍යේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු බවට පත් වන අතර, මහරැජිනගේ භාණ්ඩාගාරයේ දෙවැනි අධිපතියා බවට ද පත් වෙයි. මෙම නිලය සාමාන්‍ය‍ෙයන් සමාන කළ හැක්කේ වෙනත් රටවල තිබෙන මුදල් අමාත්‍ය ධුරයට ය.

Financial Times

නමුත් සුනාක් විසින් ලබා දී ඇති මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන්නේ ඔහුගේ බිරිඳ වන ආක්ෂාතා, එක්සත් රාජධානිය මූලික කරගෙන ක්‍රියාත්මක වන කැටමැරන් වෙන්චර්ස් නමැති කුඩා සමාගම් ජාලයේ හිමිකාරිය බව පමණයි. එක්සත් රාජධානියේම තිබෙන තවත් සමාගම් හා සමාගම් ජාල 6 ක ද, ඉන්ෆොසිස් හා ඇමසන් ඉන්ඩියා සමාගම් හැරුණු විට ආක්ෂාතාගේ කොටස් පවතින බව මෑත කාලීන වාර්තා හෙළිදරව් කරයි.

ඉන්ෆොසිස් ටෙක් සමාගමේ වාර්ෂික වාර්තාවලට අනුව ආක්ෂාතා මූර්ති විසින් සිදුකර ඇති මූලික ආයෝජනය හේතුවෙන් ඇයට වාර්ෂිකව පවුම් මිලිය ගණනක් ලාභාංශ වශයෙන් ලැබේ. ඇයට වඩා මෙම සමාගමේ කොටස් හිමිකාරිත්වයක් තිබෙන ඇගේ එකම පවුල් සාමාජිකයා ඇගේ සහෝදරයා වන රෝහන් මූර්ති පමණි. මේ අතර නාරායන මූර්තිගේ පවුල මෙම සමාගමට පවුම් බිලියන 1.7 ක් ආයෝජනය කර ඇත.

රිෂී සුනාක් දුප්පත්කම වැඩි කරමින් සිටින්නේද?

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූයේ ලබන වසන්ත සෘතුවේදී, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සුබ සාධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් කපාහැරීමට රිෂී සුනාක් සූදානම් වන බවයි.

එසේ වුවහොත් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් තවත් මිලියන 3 ක් දෙනා දුප්පත්කම වෙතට (into poverty) තල්ලු වී යාමේ අවදානම ඉතා ඉහළ ය. මහා බ්‍රිතාන්‍යයේ දුප්පත්කම සමග ජීවත් වන ජනගහනය මිලියන 1.1 ක් වේ. කෝවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් දැවැන්ත විරැකියාවකට පාත්‍ර වී සිටින අතර,ඔවුන්ට සතියකට පවුම් 20 ක් බැගින් ලබාදෙන දීමනාව අත්හිටුවා දැමිය යුතු යැයි රිෂී සුනාක්ගේ පාර්ශවයෙන් මේ වන විට යෝජනා වී තිබේ. මාර්තු මාසයෙන් පසුව මෙම දීමනාව ලබාදෙන බවක් රිෂී සුනාක්, පසුගිය සතියේ පැවති වියදම් ප්‍රකාශයේදී පවසා නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි