×

‘‘ඔහු විඳෙව්වා ඇති!‘‘ රොබට් එෆ්. කෙනඩි ඝාතකයාට, කෙනඩි පුතුන් දෙදෙනාගෙන් 16 වන වතාවේදී සමාව!

‘‘ඔහු විඳෙව්වා ඇති‘‘ සිර්හාන් සිර්හාන් පිළිබඳ රොබට් එෆ් කෙනඩි ගේ පුත්‍රයන් දෙදෙනා දැන් සිතන්නේ එසේ ය.


පුරා වසර 53 ක් රොබට් එෆ්. කෙනඩිගේ ඝාතනය වෙනුවෙන් ඔහු සිරබත් කා තිබේ. මීට පෙර 15 වතාවක් සමාව ඉල්ලා, එය ප්‍රතික්ෂේප වී තිබේ. මේ 16 වන වතාවයි.

සිර්හාන් සිර්හාන් නමැති ඔහු, එදා ලොස්ඇන්ජලීස් හි ඇම්බසිඩර් හෝටලයේදී රොබට් එෆ් කෙනඩි හට වෙඩි තබා ඝාතනය කරන විට ඇමරිකාවේ ඩිමොක්‍රටික් ජනාධිපති බලාපොරොත්තුව බවට පත් ව තිබුණේ රොබට් එෆ් කෙනඩි ය. RFK යන කෙටි නමින් හැඳින්වුණු ඔහු, ජෝන් එෆ් කෙනඩිගේ සහෝදරයා වීම මත දේශපාලනයට පැමිණි අයෙක් නොවේ. දක්ෂ නීතීඥවරයෙකු වූ රොබට් එෆ්. කෙනඩි ඇමරිකා එක්සත් ජනපදයේ 64 වැනි නීතිපතිවරයා ද විය. 1968 ජූනි 6 වැනිදා වෙඩි තබා ඝාතනය කරන විට ඔහු නිව්යෝක් ජනපදයේ සෙනෙට් සභිකයා ද විය. ඒ වන විට ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා ඝාතනය වී වසර 5 කි.

 

සිර්හාන් ට නඩු විභාගයෙන් මරණ දණ්ඩනය හිමි වුවත්, අවසාන මොහොතේදී ඔහුට ජීවිත දානය ලැබෙන්නේ කැලිෆෝනියා ශ්‍රේෂ්ඨාධිකරණය 1972 වසරේදී මරණ දඬුවම අහෝසි කර දැමීම නිසා ය. ඒ අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ස්වයංක්‍රීයව පරිවර්තනය විය.

ජෝර්දාන පලස්තීන සම්භවයකින් යුක්ත සිර්හාන් සිර්හාන් ගේ වයස දැන් 77 කි. ඝාතනය සිදුකරන විට ඔහු යන්තම් 24 හැවිරිදි තරුණයෙකි. පලස්තීන මිලීෂියා සාමාජිකයෙකු ලෙස ඔහු තමන්ව හඳුන්වා ගත්තේය.

පලස්තීන ගැටළුවට අවසානයේ රොබට් එෆ් කෙනඩි සිය ජීවිතයෙන් වන්දි ගෙව්වේය. ඝාතනය සිදුකරන විට මේ ලෝකයේ ජීවත් ව සිටි ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් සිර්හාන් ඒ ගැන විඳෙව්වේය.

Sirhan Sirhan අත්අඩංගුවට පත් අවස්ථාව

ඉදිරි දින 90 ක කාලය තුළ සිර්හාන් සිර්හාන් ව සිරෙන් නිදහස් කරන්නේ ද යන්න ගැන තීරණයක් ලැබෙනු ඇත. එම තීරණය ගනු ලබන්නේ කැලිෆෝනියාවේ සමා මණ්ඩලය විසිනි. එම තීරණය අනතුරුව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට යවන අතර, ඔහුට ද අවසන් තීරණය වෙනුවෙන් දින 30 ක් ලැබේ.

ඇමරිකාවේ සිරකරුවන්ට දඬුවම් දීම, කිසිදු විටෙක ව්‍යවස්ථාපිත නීතිවලින් බැහැර ක්‍රමවේදවලින් සිදුකරන්නේ නැත. දේශපාලකයන් එයට අත පොවන්නේ ද නැත. නමුත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙවර රොබට් එෆ්. කෙනඩිගේ පුතුන් දෙදෙනෙක් ඉදිරියට පැමිණ තිබේ. අපරාධ නීතියේ පරම අරමුණක් වන්නේ අපරාධකරුට විඳවීමක් ලබාදීමයි. සිය පියාගේ අකල් මරණය සම්බන්ධයෙන් අඩ සියවසක් විඳවූ මිනිසාට සමාව දීමට ඔවුන් කල්පනා කරන්නේ නම්, පවුලේ සමීපතම ඥාතීන්ගේ එවැනි තීරණයක් අවසන් තීරණයට යම් බලපෑමක් ඇති කරනු ඇත.සමාව දුන් පමණින් එයින් සිරකරු නිදහස් වේ යැයි අදහස් නොවෙන අතර, ඉහත විස්තර කළ දීර්ඝ ක්‍රමය එවිට අනුගමනය කළ යුතුමය.

ඒ මිසක දියුණු නීතියේ ආධිපත්‍යයක් ඇති රටවල වරදකරුවන්ට සමාව දීමට ලංකාවේ මෙන් ‘‘කෙටි ක්‍රම‘‘ නැත.

වසර 53 ක සිර දඬුවමෙන් පසු අද – ඝාතනය සිදුකරන විට ඔහු වයස 24 ක තරුණයෙකු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි