×

“රොක් n රෝල්” රජු! සිත්වල සදා නොමැකෙන ප්‍රතිමූර්තිය… එල්විස් ප්‍රෙස්ලි”

එල්විස් ආරොන් ප්‍රෙස්ලි” නැතහොත් “රොක් n රෝල්” රජු


“එල්විස් ආරොන් ප්‍රෙස්ලි” නැතහොත් “රොක් n රෝල්” රජු ලෙස විරුදාවලිය ලත් ඔහු 1935 ජනවාරි මස 8 වන දින මෙලොව එළිය දකින ලදී. මෙලොව දකින විට ඔහු ලොව බබළන තාරකාවක් වනු ඇතැයි කිසිදාක නොසිතන්නට ඇත. ගායනයෙන් පමණක් නොව රංගනයෙන් ද රසික සිත් ඇද බැඳ ගත් ඔහුගේ අඩිතාලම වනුයේ සෑම් පිලිප්ස් ගේ නිෂ්පාදනයෙන් Sun records හි නිර්මාණය වූ ඔහුගේ පළමු ගීතය වන ‘දැට්ස් ඕල් රයිට්’ නම් ගීතය යි.

“Thats All Right Mama
THAT’S ALL RIGHT MAMA…”

මීට අමතරව ඔහුගේ නිර්මාණයන් අතර 1956 දී එළි දැක් වූ ‘Hound dog’ විශාල වශයෙන් ජනප්‍රිය වූ නිර්මාණයකි.

එලෙසම Can’t help falling in love / Suspicion minds / You’re the devil in disguise / Jailhouse Rock / Burning love / Unchained Melody / If I can dream / Always on my mind / Heartbreak Hotel /…. ආදී ඔහුගේ නිර්මාණයන් ගණනාවකි.

ටෙලිවිෂනයේ ප්‍රථම දිගහැරුම ලෙස ඔහුගේ Love Me Tender චිත්‍රපටය කදිම සිනමා සිත්තමකි.. ගායනයෙන් රංගනයෙන් සිත් සතන් පිනවූ රොක් n රෝල් රජාණෝ 1977 අගෝස්තු 16 දින මෙලොවින් සමුගත්හ.

ඔහුට උපහාරයක් වශයෙන් මෑත භාගයේදී කරළියට ආ “Elvis” සිනමා සිත්තම Baz Luhrmann ගේ අධ්‍යක්ෂණයෙන් 2022 මැයි සහ ජූනි මාසයන් හි රටවල කිහිපයක තිරගත විය. මෙහි ‘Austin Butler’ එල්විස් ප්‍රෙස්ලි යන භූමිකාවට තම රංගනයෙන් දායක වෙයි. ඔහු 1991 අගෝස්තු 17 වන දින උපත ලද රූපයෙන් අගතැන්පත් තරුණ රංගන ශිල්පියෙකි. ඔහු තමාගේ උපරිම දායකත්වය මෙම නිර්මාණය සඳහා ලබා දී ඇති බව නරඹන්නන් ලෙස ඔබලා ට දැකගත හැකිවනු ඇත. එල්විස් ගේ ජීවිතය ඉතා ලස්සනට ගෙනහැර දැක්වීමට අධ්‍යක්ෂක සමත්ව ඇත.


කතාවේ සංයුතිය කෙටියෙන්;

එල්විස් ප්‍රෙස්ලි නොහොත් ඔබ කවුරුත් හඳුනන රොක් n රෝල් රජු ගේ කළමනාකරු නමින් කර්නල් ටොම් පාර්කර් ය. මෙම සිනමා සිත්තම නිර්මාණය වන්නේ ඔහු මරණ මංචකයේ සිට කරන මතකාවර්ජනයක් ලෙසිනි. ඔහු සූදුවට ඇබ්බැහි වූ අයෙකු වන අතර ඔහු මතකයට නඟන්නේ රොක් n රෝල් රජු ඔහුට හමු වූ අයුරු පිළිබඳවයි.

තම මව වන ග්ලැඩිස් සමඟ ඔහු හැදී වැඩුණ ද මිසිසිපි හි ගත කළ එම ළමා කාලය ඉතා අසීරු කාලයක් විය. මොහු වරෙක තම දෙමව්පියන් සමඟ මෙම්පිස් වෙත ගිය පසු එහි පැවති අප්‍රිකානු – ඇමෙරිකානු සංගීතයට මනා ඇල්මක් දැක්වීමත් සමඟ ඔහු සම වයසේ වුන් අතර සමච්චලයට භාජනය විය. නමුත් එයින් නොසැලුනු ඔහුගේ හරිහමන් දක්ශතාවය දුටුවේ වෙන කිසිවෙක් නොව පාර්කර් ය. That’s All Right ගීතය ඇසීමත් සමඟ එදින රාත්‍රියේ ඔහු ලුසියානා හයිරයිඩ් ප්‍රසංගයක දී එල්විස් දකින අතර ඔහුට ලැබෙන ජනතා ආකර්ශනය දැක පුදුම විය. කාන්තාවන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නට ඔහුගේ ගායනය පමණක් නොව ඔහු එය ඉදිරිපත් කරන විලාශයෙහි ද ආකර්ෂණීය බවක් මනාව පෙන්වයි. Hank snow සමඟ සබඳතාවය බිඳ හෙලමින් පාර්කර් ඔහුගේ සංදර්ශන සඳහා සුදු ජාතික ගායකයෙකු වුවත් කලු ජාතිකයෙකුගේ හඬක් ජනතාවට ලබා දෙන එල්විස් සමඟ තම වෘත්තීමය සබඳතාවය ගොඩනඟා ගන්නා ලදී.

එල්විස් ගේ අගහිඟකම් වලට සැලකීමක් සහ ඔහුගේ පවුල මූලික කරගෙන පාර්කර් තම වෘත්තීය ඔහුට පවරන්නේ ‘එල්විස් ප්‍රෙස්ලි එන්ටර්ප්‍රයිසස්’ ලෙස ඔහුට ගිවිසුමක් ද ලබා දෙමිනි. රටේ ලෝකයේ නන් දෙසින් තම ජනප්‍රියත්වය තහවුරු කරමින් එල්විස් නාමය රසික හදවත් තුළ සන්නාමයක් කිරීමට පාර්කර්ගේ කැපවීම විශිෂ්ට ය.

හිරු නැඟ බැස යන සේ එල්විස් නාමයට ප්‍රහාරයක් ලෙස බෙදුම්වාදයට තුඩු දුන් ඩිමොක්‍රටික් මිසිසිපි සෙනට් සභික ජිම් ඊස්ට්ලන්ඩ් කළු-සුදු භේදය ඔප්නංවමින් එල්විස්ගේ ගීත සුදු ජාතික දරුවන් දූශිතයන් බවට පත් කරන ලෙස ප්‍රකාශ කරමින් පාර්කර් ව නඩු විභාගයකට ද කැඳවයි.

එල්විස් තම ප්‍රසංගයක ඉදිරිපත් කළ නර්ථනයත් සමඟ ඔහුට නීතිමය ගැටලු රාශියකට ඔහුට මුහුණ දීමට සිදුවිය. නමුත් ඔහුගේ ජනප්‍රියත්වයට සහ කාන්තාවන්ගේ ආකර්ශනයෙන් නම් අඩුවක් නොවීය.

පසුකලෙක ඔහු හමුදා සේවයට ද යොමු විය. නමුත් ඔහුගේ මහත් කඩා වැටීමට හේතු වූයේ තම මවගේ අභාවයයි. පසුව ඔහුට ප්‍රිසිලා බියුලියු හමු වීමත් සමඟ ජීවිතයෙහි වෙනම පරිච්ඡේදයක් විවෘත වෙයි. ඔහු ඇයව විවාහ කරගැනීමත් සිය සිනමා ජීවිතය නැවත ආරම්භ කිරීමත් එමඟින් සිදු විය.

1960 දී පමණ ජනප්‍රිය සංස්කෘතිය ඔහු පසුකර යද්දී, මාටින් ලූතර් කිං සහ රොබට් එෆ්. කෙනඩිගේ ඝාතනයන් ද සිදු විය. එල්විස්ගේ ගමනට පාර්කර් කෙමෙන් කෙමෙන් බාධාවක් විය. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ශෘංගාර රසය ඉස්මතු කරමින් රසිකයන් ඇද බැඳ ගැනීම පමණක් ය. එල්විස් තම ප්‍රතිරූපය නවීකරණය කිරීමට තීරණය කිරීමත්, ඔහුට එල්ලවන පාර්කර් ගේ අභියෝගත් විඳ දරා ගනිමින් මෙම කතාමාලාව ඉදිරියට ගලා යයි. ලාස් වේගාස් හි ස්ක්‍රීන් තුළ එල්විස් ‍යනු නුපුරුදු චරිතයක් නොවීය.

1973 දී ප්‍රිසිලා තම දියණියත් රැගෙන ඇයගේ දික්කසාද ජීවිතයට පිවිසීමත්, 1977 දී එල්විස් තම ජීවිතයෙන් සමු ගැනීමත් සිදුවිය. ඔහුගේ අවසාන සිතුවිල්ල වූයේ තමා මියගිය පසු ඔහුගේ මතකයන් නොරැඳෙනු ඇතැ යි යන්නයි.

ඔහුගේ බිය බියක්ම පමණක් කරමින් රොක් n රෝල් රජු සදා නොමැකෙන අමරණීය මතක සටහනක් ඉතුරු කරමින් මෑතකදී ඔහු මෙලොව හැර ගොස් වසර 45ක් සැපිරීමත් සිදු විය. ඔහු නැතත් අදටත් ඔහුගේ ගීත ලොවපුරා රසික රසිකාවන්ගේ හදෙහි රැවු පිළිරැව් දෙනවා නොඅනුමාන ය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි