×

රොකී උස ය – සොබාදම පොදු ය

පැටගෝනියාවේ සිට ඇලස්කාව දක්වා පෘථිවි කබොලේ කොඳු ඇට පේළිය දීර්ඝ කරන්නේ අමෙරිකානු රොකී කඳු පන්තිය විසිනි.


එය සැබවින් ම පාෂාණමය දම්වැලකි. එහි බෑවුම් අතිශය තියුණු ය. හරිකේන් හෙවත් සුළි කුණාටු හමාවිත්, කඳුකර බෑවුම්වලට පහර දීම ඇරඹෙත්ම බෑවුම සම්පූර්ණයෙන් ම ජීවය රහිත තැනක් බවට පත් වෙයි.

අඩි දහස් ගණන් උස කඳුකරයට අහසින් නොකඩවා වැටෙන නැවුම් හිම නිසා ජනිත වන නැවුම් අනතුර වන්නේ හිම කඳු කඩා වැටීමයි. පෙර කී රොකී කඳුවැටියේ තියුණු බෑවුම්වල ඇවලාන්ච් හෙවත් හිම කඳු කඩා වැටීම් එක් ශීත ඍතුවකදී ලක්ෂයක්වත් සිදුවේ. මෙවිට මිහිතලය දෙපළු වන්නා සේ ගොර බිරම් හඬ නඟමින් හිම කඳන් පහළට රූටා එයි. ඒවායේ වේගය පැයට සැතපුම් දෙසීය පනහක්වත් වේ. කේතුධර ගස් ඇතුළු හසුවන හැම දෙයක් ම මෙයින් සුණු විසුණු වී යයි.

රොකී කඳු පන්තියේ ප්‍රපාතාකාර බෑවුම්, අන් බොහෝ කඳුකරයන් සේ ම නිරුවත් ය. හිස් ය. නමුත් ශීත ඍතුවට මුවාවීම සඳහා ඒවායින් ඇතැම් සතුන් හට යම්කිසි ආකාරයක රැකවරණයක් ද ලැබේ. ගි‍්‍රස්ලි බෙයා හෙවත් අළු පැහැති ලොම් වලසා එවන් රැකවරණයක් ලබන්නෙකි.

ගි‍්‍රස්ලි බෙයා මවක් සාමාන්‍යයෙන් සිය දරුවන් ද සමඟ සය මසක් පමණ භූගත බෙනයක ශිශිර තරණය කරයි. මේ සය මස පුරා ම කිරි බවට හැරුණු ඇගේ රුහිරු බී දරුවන් සුවෙන් පසුවන නමුත් ඇය පසුවන්නේ සමකාසන්න නොගැඹුරු මුහුදු තීරයට පැටවා කැඳවාගෙන ආ පිටකුදු තල්මස් මවක් මෙන්ම එකහෙළා ම කුසගින්නෙනි. වලස් දරුවෝ ඇතැම් විට සිසිරය නිම වීමට ද පෙර එළිමහනට පැමිණෙති. ඇතැම් විට ඒ දරුවන් බාහිර ලෝකය වෙත කැඳවාගෙන ඒම සඳහා සුදුසු ම කාලය ද එය විය හැකිය.

අලුත උපන් වලස් පැටවුන් මවට සාපේක්‍ෂව ඉතාම කුඩා ය. ඇගේ පාදයක දණහිස තරම්වත් දරුවන් උස නැත. හිම පිරුණු මේ ශීත කලාපය උන්ට ඇත්තෙන් ම අභය භූමියක් වන්නේ මේ කාලයට පිරිමි වලසුන් එළිපහළියට නොඑන නිසා ය. පිරිමි වලසුන් වලස් මව්වරුන් මෙන් නොවේ. පිරිමි වලස්සු කුඩා පැටවුන්ව මරා අනුභව කිරීමට රුචියක් දක්වති. සාමාන්‍යයෙන් පිරිමි ගි‍්‍රස්ලි වලසෙක් ගැහැනු සතකු මෙන් දෙගුණයක්වත් විශාල නිසා මෙවැනි ප්‍රහාරයකදී ඇය පවා අනිවාර්යයෙන් ම අසරණ වෙයි.

නිරාහාර ව, දුබල ගතකින් යුතු වුවද වලස් අම්මාට පැටවුන්ගෙන් එක මොහොතකට හෝ දෑස් මෑත් කර ගැනීමට වරම් නැත. ඇය සිය දරුවන්ව හිම අඩු දුඹුරු පැහැ බිම් තීරුවක් වෙත කැඳවාගෙන යයි. එවිට කුඩාවුන්ගේ සිත් පිනා යයි. දුබල මව සමඟ කෙළි සෙල්ලම් කිරීමට එවිට දරුවන්ට උවමනා කෙරේ. නමුත් මේ වන විට වලස් අම්මා තවත් විපතකට මුහුණ දී හිඳින්නීය. ඇගේ කිරි සිඳී යමින් තිබේ. එනිසා කොතරම් ආරක්‍ෂා සහිත තැනක් වුවද ඇය හැකි ඉක්මනින් මේ බෑවුම් හැරපියා යා යුතු ය. කඳුකරයෙන් ඔබ්බේ කෑම ඇති තැනකට දරුවන් කැටුව යා යුතු ය. නොඑසේ නම් මුළු පවුල ම සාගින්නෙන් පෙළීමේ අවදානම ඇති වෙයි.

රොකී කඳු පන්තියේ සැබෑ සුන්දරත්වය හෙළි කරන්නේ ගිම්හානයයි. එවිට කඳු පන්තිය, වළාකුළු රාජධානියක් මැද පිහිටන්නා සේ පෙනේ. පාෂාණමය කඳු මුදුන්වලින් හිම වයිරම් සේදී යන්නට පටන් ගනියි. කඳුකරවාසී සතුන් හට පියවි ලෝකයට පිය මැනීම සඳහා අවස්ථාවක් ලැබේ. මේ නිසා මේ කාලයට, සැතපුම් දෙකක් තරම් ඉහළට විහිදුණු රොකී කඳු පන්තියේ මුඩු බෑවුම්වල හරි මැද පවා ගි‍්‍රස්ලි වලසුන් දැකගත හැකිය. ගල් කුට්ටි පෙරළමින්, මුඩු පස ඉව කරමින් උන් සොයන්නේ මොනවාදැයි කිව නොහැකි තරම් ය. මේ කාලය වන විට ගි‍්‍රස්ලි මව සහ ඇගේ දරුවන් දෙදෙනා තරමක් දුරට තරබාරු වී සිටිති. ඒ නිසා උන් ද අහර සොයා මේ මුඩු බිමට එති.

ඔවුහු ගල් කුට්ටි පෙරළමින්, දුහුවිලි ජාලා නඟමින් මොනවාදෝ සොයති. සැබවින් ම උන් සොයන්නේ රස අහරකි. ඒ රස අහර නම්, පහත් බිම්වල උණුසුමින් ගැලවීම සඳහා බුරුල් වූ ගල් කුට්ටි යට සහ අතර සැඟවී සිටිනා සලබයන් ය. මෙබඳු සලබයෝ මිලියන ගණනක් මෙහි වෙති.

සලබයකු කෑමට ගෙන ග්‍රිස්ලි වලසකුට සෑහීමකට පත්විය හැකිදැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එයට පිළිතුර ඔව් යන්නයි. ශීත ඍතුවෙන් පසු ශක්තිය වඩවා ගත් විට, ගි‍්‍රස්ලි වලසුන්ගේ සමට යටින් පිහිටා තිබෙන මේද තට්ටුව නැවත ඝනකම් වෙයි. එනිසා ඉතා කුඩා ආහාරයකින් වුවද කුස පුරවා ගැනීමේ හැකියාව උන්ට ලැබෙයි.

නමුත් මේ එළඹෙමින් තිබෙන්නේ මෙබඳු සොබා සොඳුරු දසුන් මිනිස් ඇසෙන් මදින් මඳ ඈත් වෙමින් යන යුගයයි. රොකී කඳු පන්තිය නැවත කිසිදා ආරෝහණය නොවේ. එනම් රොකී කඳුවැටිය තවත් උස නොයයි. ඒ වෙනුවට එය ක්‍රමයෙන් මිටි වෙමින් පවතියි. විශේෂයෙන් ම සෑම ශීත ඍතුවකදීම මේ ක්‍රියාවලිය අතිශය වේගවත් වේ. තියුණු බෑවුම්වල බොරළු කැට පස් බවට පත්වෙමින් උස් කඳු මුදුන්වල උස අඩුවෙමින් යයි. ලොවේ ඇති සෑම කඳු පන්තියක් ම තුසරය. අයිස් හා හිම හේතුවෙන් හැම මොහොතක ම නිරන්තර ඛාදනයට ලක්වෙමින් තිබෙන්නේ ය යන ධර්මතාවය අමෙරිකානු රොකී කඳු පන්තියට ද පොදු ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි