×

මමි 22 ක් ශිෂ්ටාචාර කෞතුකාගාරය බලා පාවී යති

රජවරුන් 18 දෙනෙක් සහ රැජිනියන් සිව් දෙනෙක් නයිට්‍රජන් පිරවූ රාජකීය කුටීර පිටින්ම අලුත් නිවහනක් වෙත ඇදී ගියේය.


ඊජිප්තුව මේ මමි 22 පැරණි කෞතුකාගාරයේ සිට නව කෞතුකාගාරය දක්වා ගෙන ගියේ ඊයේ දිනයේ මහා පෙරහැරකිනි. එය වර්ණවත් ය. පුරාණ මිසර උරුමය සිහිගැන්වූයේය. ඒ හා සමගාමීව මහා සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්වුණේය.

මිසර පාරාවෝ රජුන් සහ රැජිනියන් සිය නව නිවහන වෙත ඇදී ගියේ පාවෙමින් බව කිව හැක. ඔවුන් නම ‘නව රාජධානිය‘ හෙවත් ‘ඊජිප්තු අධිරාජ්‍යය‘යට අයත් වූවන් ය. එනම්, ක්‍රිස්තු පූර්ව 16 වන සියවස සහ 11 වන සියවස අතර වාසය කළ, මහා ප්‍රතාපවත් යැයි සැලකෙන පාරාවෝ වංශිකයන් ය.

ඔවුන්ගේ පැරණි නිවහන වූයේ සුප්‍රසිද්ධ තහීර් චතුරස්‍රයේ පිහිටා තිබූ ඊජිප්තු කෞතුකාගාරයයි. දැන් ඔවුන් පාවෙමින් ඇදී ගියේ ෆුස්ටාට් හි පිහිටා තිබෙන ඊජිප්තු ශිෂ්ටාචාර ජාතික කෞතුකාගාරය (National Museum of Egyptian Civilization) වෙත ය. මේ මහා උත්සවය වෙනුවෙන් නයිල් නිම්නයේ මං මාවත් වසා දමා තිබිණි. නමුත් ජනයාට එ් පෙරහැර නරඹන්නට බාධාවක් තිබුණේ නැත. සියල්ලටම පසුව, ඒ ඇදී යන්නේ ඔවුන්ගේ ප්‍රෞඩ ඉතිහාසයයි. දැන්, කෝවිඩ් වසංගතයෙන් පසු උදාවන අනාගතයේදී පැරණි නිවහනේදී පාරාවෝ රජුන් බැහැදුටු සංචාරකයන්ට නව නිවහනේ ඔවුන් සුවෙන් සැතපෙන්නේදැයි හැබැහින්ම දැක ගැනීමට හැකිය.

මේ සම්බන්ධයෙන් අපූරු පැහැදිලි කිරීමක් ඊජිප්තු පුරාවිද්‍යාඥයෙකු විසින් අල් ජසීරා පුවත් සේවයට සිදු කර තිබිණි.

‘‘අපි ශිෂ්ටාචාර කෞතුකාගාරය මේ සඳහා තෝරාගත්තේ, වඩාත් ශිෂ්ට සම්පන්න සහ අධ්‍යාපනික මුහුණුවරකින් මේ මමි තැන්පත් කළ යුතු නිසයි. ඊජිප්තු කෞතුකාගාරයේදී ඒවා හුදෙක් ප්‍රදර්ශනය කළේ ආශ්වාදය සපයන වස්තු ලෙසට..‘‘

ඊජිප්තුවේ මමි සම්පතෙන් වැඩි හරිය මතුවූයේ රජුන්ගේ නිම්නය (Valley of the Kings) ආශ්‍රිතව ය. මේවා අතරින් කෞතුකාගාරයේ සැතපෙන පැරණිතම මමිය, 17 වන රජ පෙළපතට අයත් සෙකනෙන්රේ ටාවෝ රජුගේ ය. ක්‍රිස්තු පූර්ව 16 වන සියවසේදී මිසරයේ පාලකයා බවට පත් වූ මේ රජු බිහිසුණු මරණයකට ගොදුරු විය.

සෙකනෙන්රේ ටාවෝ පාරාවෝ රජුගේ මමිය

නෙෆටිටි රැජින

දෙවැනි රැම්සීස් රජු, පළමු සැටී රජු සහ සුප්‍රසිද්ධ නෙෆටිටි රැජින ද මෙසේ පාදයාත්‍රාවෙන් ශිෂ්ටාචාර කෞතුකාගාරය බලා පාවී ගියෝ වෙත්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි