×

සමරිසියන් “මකබෑ” වෙලාම පල – රුසියානුවන් ගේ අලුත්ම ඉල්ලීම

සමීක්ෂණය තුළ 50% ක ප්‍රතිශතයක් සමරිසි ප්‍රජාව කෙරේ විරෝධය පා ඇති බව මින් පෙනී යයි.


ලෙවාඩා සෙන්ටර් (Levada Center) නම් පර්යේෂණ ආයතනයේ සමීක්ෂණයකට අනුව, රුසියාවේ අදහා ගත නොහැකි ප්‍රතිශතයක් සමරිසි ප්‍රජාව “විනාශ කර දැමිය යුතුය” යන ස්ථාවරයේ පසු වන බව සොයාගෙන තිබේ.

එල්ජීබීටීකිව් නේෂන් (LGBTQ Nation) වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, ලෙවාඩා සෙන්ටර් පර්යේෂණ ආයතනය දියත් කළ සමීක්ෂණය තුළ 1614 ක වැඩිහිටි පුද්ගල නියදියක් භාවිත කර තිබෙන අතර, ඔවුන් ගෙන් විමසා තිබෙන්නේ ආන්තිකකරණයට ලක්වූ ප්‍රජාවන් සම්බන්ධයෙන් ඔවුන් දරන මතය කුමක් ද යන්නයි. මීට පිළිතුරු ලබා දීම සඳහා ඔවුන් වෙත ලබා දී ඇති විකල්ප වී තිබෙන්නේ;

– විනාශ කර දැමිය යුතුය
– සමාජය තුළ තනි කළ යුතුය
– සහයෝගය දැක්විය යුතුය
– පාඩුවේ සිටින්නට ඉඩ දිය යුතුය
– අදහසක් නොමැත

යනාදිය යි.

ආන්තිකකරණය ට ලක්වූ ප්‍රජාවන් අතර අවතැන් වූ පුද්ගලයින්, එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින්, මත්පැන් වලට ඇබ්බැහි වූ පුද්ගලයින්, සමරිසි කාන්තාවන්, සමරිසි පුරුෂයින්, ආබාධිත පුද්ගලයින්, යාචකයින්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින්, ලිංගික වෘත්තියේ යෙදෙන පුද්ගලයින් හා කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් දක්වා ඇත.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයින් අතර 18% ම පවසා තිබෙන්නේ සමරිසි ප්‍රජාව (කාන්තා සහ පුරුෂ) “විනාශ කර දැමිය යුතුය” යන්නයි. අනෙකුත් ආන්තික ප්‍රජාවන් ට සාපේක්ෂව අසාමාන්‍ය ප්‍රතිශතයකින් “විනාශ කර දැමිය යුතුය” යන විකල්පය තෝරාගෙන තිබි පුද්ගල කණ්ඩායම සමරිසි ප්‍රජාව වීම මෙහි විශේෂත්වය යි.

මෙම සමීක්ෂණය තුළ අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියා වල නිරත වන පුද්ගල කණ්ඩායම් පිළිබඳව ද මතය විමසා තිබිණි. ඊට ත්‍රස්තවාදීන්, ළමා අපචාරකරුවන්, මනුෂ්‍ය ඝාතකයින්, කල්ලිකරුවන් සහ රැඩිකල් මතධාරීන් ඇතුළත් කර තිබිණි.

ඉහත දැක්වූ සමරිසි ප්‍රජාව විනාශ කර දැමිය යුතුය යන විකල්පය තෝරාගත් ප්‍රතිශතය අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියා වල නිරත වන පුද්ගල කණ්ඩායම් විනාශ කර දැමිය යුතුය යන ප්‍රතිචාර සංඛ්‍යාව ම පාහේ ද ගැලපී තිබේ.

මීට අමතරව, ප්‍රතිචාර දැක්වූවන් ගෙන් 32% ක් ලබා දී තිබෙන්නේ සමරිසි ප්‍රජාව “සමාජය තුළ තනි කළ යුතුය” යන ප්‍රතිචාරයයි. තවත් 32% ක ප්‍රතිශතයක් පවසා තිබෙන්නේ සමරිසි ප්‍රජාවට “පාඩුවේ සිටින්නට ඉඩ දිය යුතුය” යන්නයි. 9% ක ප්‍රතිශතයක් අවධාරණය කරන්නේ සමරිසි ප්‍රජාවට “සහයෝගය දැක්විය යුතුය” යන්නය. කෙසේ වෙතත්, සහයෝගය ලබා දිය යුත්තේ කුමන අන්දමින් ද යන කළ අතිරේක මත විමසුමකට කිසිවකුත් ප්‍රතිචාර දක්වා නැත.

මින් හැඟවෙන්නේ කුමක්ද?

සමීක්ෂණය තුළ 50% ක ප්‍රතිශතයක් සමරිසි ප්‍රජාව කෙරේ විරෝධය පා ඇති බව මින් පෙනී යයි.

ලෙවාඩා සෙන්ටර් පර්යේෂණ ආයතනය පවසන්නේ 1989 වර්ෂයේදී සමස්ත රුසියානු ජනගහනයෙන් 35% ම සමරිසි ප්‍රජාව විනාශ වී යා යුතුය යන මතය දැරි බවයි. සමරිසිභීතිකාව, නැතහොත් හෝමෝෆෝභියාව (Homophobia) ඉහළින් ක්‍රියාත්මක වන රටක් ලෙසට ප්‍රසිද්ධ රුසියාව තුළ කුයර (Queer) ප්‍රජා අරගලය ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා වෙනත් යුරෝපීය රට වල කුයර ප්‍රජා අරගලයට ද වඩා පැරණි බව ඇතැම්හු පෙන්වා දෙති.

කෙසේවෙතත්, මෙම ප්‍රතිශතය 1999 වර්ෂයේදී 15% දක්වා අඩුවූ බවද ලෙවාඩා සෙන්ටර් පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි. එතැන් පටන් අද දක්වා රුසියාව තුළ සමරිසිභීතිකාව 20% කට ආසන්න ප්‍රතිශතයක දෝලනය වෙමින් පවතින බවද එම ආයතනය අවධාරණය කරයි.

ඉහත සඳහන් කළ සමීක්ෂණය අදාල පර්යේෂණ ආයතනය විසින් දියත් කර තිබෙන්නේ ඉකුත් පෙබරවාරි මසදී ය.

මීට අමරතව, එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාව (PLHIV) කෙරේද රුසියාවේ යම් විරෝධයක්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් ක්‍රියාත්මක වන බව නොරහසකි. එය 1989 වර්ෂයේදී 14% ක ප්‍රතිශතයකින් පැවති අතර, 2020 වන විට 2% දක්වා පහත බැස තිබේ.

පොදුවේ සැලකූ කළ, සමීක්ෂණය තුළ ඉදිරිපත් කර ඇති ප්‍රතිචාර තුළින් පෙන්නුම් කරනුයේ සමරිසි ප්‍රජාව “විකෘති” හෝ “නුසුදුසු ආශාවන් දරන” පුද්ගල කොට්ඨාශයක් බවට හංවඩු ගැසීමේ නැඹුරුවක් පුද්ගලයින් තුළ පවතින බවයි. ලෙවාඩා සෙන්ටර් පර්යේෂණ ආයතනය පෙන්වා දේන්නේ, එය 2015 වර්ෂයේ පැවැත්වූ සමීක්ෂණයේ සිට මේ දක්වා කාලය තුළ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, රුසියාවේ සමරිසිභීතිකාව ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් ය.

රුසියාවේ නෛතික පසුබිම සැලකූ කළ සමරිසිභාවය සාපරාධී වරදක් ලෙස නොසැලකේ, කෙසේ වෙතත්, සමරිසිභාවය, හෝ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී හෝ ප්‍රශ්ණභාවී අනන්‍යතාවක් ප්‍රසිද්ධියේ පළ කිරීම රුසියානු නීතියට අනුව “සාම්ප්‍රදායික නොවන ලිංගික සබඳතා ප්‍රචාරණය කිරීමක්” යන කරුණ යටතේ වසර තුනක් දක්වා සිරදඬුවම් විඳිය හැකි වරදක් ලෙස සැලකේ.

පුටින් ගේ සමරිසි භීතිකාව

පසුගිය සඳු (20) දින රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් මහතා තම ධුරකාලය තුළ කිසිවිටක සමරිසි පුද්ගලයින් හට විවාහ ගිවිස ගැනීමේ අයිතිය හෝ දරුවන් හදාවඩා ගැනීමේ අයිතිය ලබා නොදෙන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ආන්තික ජන කොට්ඨාශ තම මූලික අයිතිවාසිකම් අරගලයක නිරත වන රුසියාවේ ජනපති පුටින් එළඹෙන 2024 දක්වා ම තම ධුරකාලයේ රැඳී සිටිනු ඇත.

පුටින් මේ සම්බන්ධ මත පළ කර තිබුණේ රුසියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිදුවිය හැකි සංශෝධන සලකා බලනු ලබන රාජ්‍ය අනුමත කොමිසමක් සම්බන්ධයෙන් කැඳවූ මාධ්‍ය හමුවකදී ය. එරට මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන අන්දමට පුටින් උත්සාහ කරන්නේ රුසියාවේ නීති සහ ව්‍යවස්ථානුකූලභාවය ඔහුගේ වත්මන් ධූර කාලය අවසන් වීමෙන් පසු තවදුරටත් බලය පවත්වා ගැනීමට හැකි වක පරිදි ඉඩ සැලසෙන අයුරින් හැඩගැස්වීමට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි