×

රුසියාවේ පැරණිතම මානව හිමිකම් සංවිධානයක් වන Moscow Helsinki Group වසා දැමීමට රජය සැරසෙයි!

Moscow Helsinki Group ආරම්භ වූයේ සෝවියට් සමූහාණ්ඩුව පැවති 1976 වර්ෂයේ ය..


රුසියාවේ පැරණිතම මානව හිමිකම් සංවිධානයක් වන මොස්කව් හෙල්සින්කි ගෘෘප් (Moscow Helsinki Group) වසා දැමීමට නියෝග කරන මෙන් ඉල්ලා එරට අධිකරණ අමාත්‍යංශය විසින් නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

මෙම සංවිධානය රුසියාව සෝවියට් සමූහාණ්ඩුව ලෙස පැවති සමයේ පටන්ම ක්‍රියාත්මක වූ අතර, එය රුසියාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය පිළිබඳ තතු අනාවරණය කළ සහ ලේඛනගත කළ සංවිධානයක් බව සඳහන්.

මොස්කව් හෙල්සින්කි ගෘෘප් විසින් වාර්ෂිකව එරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංවිධානයේ සම-සභාපති වැලෙරි බෝෂොව් ප්‍රකාශ කර සිටියේ, තම සංවිධානයේ ම ප්‍රඥප්ති මඟින් රුසියාවේ මොස්කව් අගනුවරින් පිට ප්‍රදේශවල මානව හිමිකම් ආරක්ෂා කිරීම වළක්වා ඇති බව පවසන විකාරරූපී චෝදනාවක් බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම චෝදනාවේ කිසිඳු සතත්‍යතාවයක් නොමැති බවත්, මොස්කව් හෙල්සින්කි ගෘෘප් විසින් සෑම විටම කරනු ලැබුවේ ද මොස්කව් අගනුවර හා ඉන් පිටත මානව හිමිකම් පිළිබඳ ආවේක්ෂණය කිරීම බවද හෙතෙම අවධාරණය කළේය.

මොස්කව් හෙල්සින්කි ගෘෘප් සංවිධානය ආරම්භ කර තිබෙන්නේ 1976 වර්ෂයේදී ය.

මෙම සංවිධානය වසා දැමීමට නියෝග කරන මෙන් ඉල්ලා රුසියාවේ අධිකරණ අමාත්‍යංශය විසින් නඩුවක් ගොනුකර තිබෙන්නේ, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළ දා පටන් එම ක්‍රියාව විවේචනය කරමින් මත ඉදිරිපත් කළ මාධ්‍ය, මානව හිමිකම් කණ්ඩායම්, සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන කණ්ඩායම් ඇතුළු බොහෝ ඒකක මර්දනය කිරීමට ජනපති ව්ලැදිමිර් පුටින් විසින් පියවර ගෙන ඇති පසුබිමක වීම ද විශේෂත්වයකි.

මීට වසරකට ඉහත දී, රුසියාවේ ස්ටාලින් යුගයේ සිදුවූ බරපතල අපරාධ රැසක් ලේඛනගත කළ මෙමෝරියල් හියුමන් රයිට්ස් සෙන්ටර් (Memorial Human Rights Centre) නම් සංවිධානය සහ එහි සහෝදර සංවිධානය වූ මෙමෝරියල් ඉන්ටර්නැෂනල් (Memorial International) වසා දැමීමට අධිකරණ නියෝග ලබා ගැනීමට එරට රජය කටයුතු කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි