×

පුටින් ‘වැඩ කරන අපේ විරුවා‘ බවට පත් වෙයි!

රුසියානුවන්ට ඊයේ සිට සතියක් වැටුප් සහිත නිවාඩු


දිනෙන් දින නැවතත් උත්සන්න වන කෝවිඩ් වසංගතය මර්දනය කිරීමේ පියවරක් ලෙස වැඩ කරන ජනතාවට සතියක වැටුප් සහිත නිවාඩුවක් ලබාදෙන ලෙසට රුසියානු ජනාධිපති පුටින් නියම කළේය.

මේ අනුව ඔක්තෝබර් 30 ඊයේ දිනයේ සිට නොවැම්බර් 7 වැනිදා දක්වා වැඩකරන ජනතාවට වැටුප් සහිත නිවාඩු ලබා දී තිබේ.

ඊයේ දිනයේ රුසියාවෙන් නව කෝවිඩ් ආසාදන 40,251 ක් වාර්තා විය. එය, වසංගතය ඇරඹීමෙන් පසුව වාර්තා වන වැඩිම දෛනික කොවිඩ් ආසාදන සංඛ්‍යාවයි. මේ වන විට කලාපයේ වැඩිම කෝවිඩ් මරණ ගණන වාර්තා වන්නේ ද රුසියාවෙනි. සැප්තැම්බර් මාසයේදී මරණ 44,265 ක් වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ ගණන 450,000 ක් දක්වා ඉහළ යන්නේ යුරෝපා කලාපයේ වැඩිම මරණ ගණන වාර්තා කරමිනි.

වසංගය ඇරඹෙන විටම Sputnik V වැනි එන්නත් රුසියාවේම ‘දේශීය නිෂ්පාදන‘ ලෙස එළිදැක ලෝකය පුරාම බෙදා හැරීමට කටයුතු කළ මොස්කව් පාලනය, වසංගත පාලනය ගැන අධි තක්සේරුවකින් සිටි බවට විවේචනයක් තිබේ. ඒ අනුව ඉතා කෙටි ලොක්ඩවුන් කාල සීමාවන් නම් කිරීම වැනි ලඝු දෙයට රුසියාව සීමා විය.

කෙසේ නමුත් දැන් උද්ගත වී තිබෙන තත්වය අනුව රුසියාව නැවතත් ලොක්ඩවුන් සහ සංචරණ සීමා වෙත ආපසු යාමට උත්සුක වෙමින් තිබේ. මේ වන විට රුසියානු ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙන්නේ ජනගහනයෙන් 32.5%ක් පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද තවම Sputnik V එන්නත සඳහා අනුමැතිය ලබා දී නැත.

මේ අතර මීට පෙර ලැබුණු වාර්තාවලින් දැක්වුණේ, Sputnik V එන්නත මගහැර වෙනත් පිළිගත් බටහිර එන්නත් ලබාගැනීමට රුසියානුවන් උත්සාහ කරන බව ය. සයිබීරියාවේදී එය ලබාගත හැකි බැවින් ඇතැමුන් එන්නත ලබාගැනීමටම සයිබීරියාවට යන බව ද විදෙස් වාර්තාවල දැක්විණි.

මේ සියල්ල අතරවාරයේදී ළඟ එන නත්තල හා නව අවුරුදු උදාව වෙනුවෙන් රුසියාවෙන් 1/3 ක් දෙනා දැනටමත් නිවාඩු ගත කිරීමට රුසියාවේ සහ ලෝකයේ විවිධ පෙදෙස් බලා යාමට සැලසුම් කරගෙන සිටිති. ක්‍රෙම්ලිනය මේ සතියේ පවසා තිබුණේ ඒ සම්බන්ධයෙන් වසංගතවේදීන් සිය දැඩි කණස්සල්ල පළ කර තිබෙන බවයි.

රුසියාවට ඒ ගැන කණස්සල්ලක් තිබුණත්, රුසියානු සංචාරකයන් පිළිගැනීමට සැදී පැහැදී බලා සිටින ලංකාව වැනි රටවල්වලට නම් ඒ ගැන කණස්සල්ලක් නැති බව නොඅනුමාන ය!

කෙසේ නමුත් ජනතාවට ‘ගෙදර ඉඳන් වැඩ කරන්න‘ කියනවාට වඩා පුටින් වෙනස් මගක් ගෙන තිබේ. මේ වන විට පුටින් වීරයා වැඩ කර ජනතාවට නිවාඩු දී,වසංගතය කණපිට හරවන්නට පරිපාලනය සමග එක් වී වැඩ කරමින් සිටියි. නිවාඩු ගිය අයට ඔහු වැටුප් ද ගෙවයි. එනිසා පුටින් රුසියාව තුළ සතියකට හෝ පක්ෂ භේදයකින් තොරව ‘වැඩ කරන අපේ විරුවා‘ බවට පත් ව තිබේ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි