×

පෙබරවාරි 24වන දින රුසියාව ප්‍රබල ප්‍රහාරයකට සැරසේ ?

මෑත මාස කිහිපය තුළ යුද්ධය ඇනහිට ඇත.


යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය Oleksii Reznikov මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මොස්කව් හමුදා දහස් ගණනක් එක්රැස් කර ඇති අතර, යුක්රේන යුද්ධයට වසරක් සපිරෙන පෙබරවාරි 24වන දින ප්‍රබල ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටින බවයි.

ඒ අනුව රෙස්නිකොව් පැවසුවේ මොස්කව් ප්‍රහාරය සඳහා 500,000 ක පමණ භට පිරිසක් බලමුලු ගන්වා ඇති බවත්, ඊට සාපේක්ෂ යුක්රේනයේ හමුදාව ඊට වඩා වැඩි බවයි. මෙහිදී ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශකර තිබුණේ 2023 වසර යුක්රේනයේ මිලිටරි ජයග්‍රහණයේ වසර විය හැකි බවයි.

නැඟෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ දරුණු සටන් පැවතියද, යුක්‍රේනය දකුණු නගරය වන කෙර්සන් යළි අත්පත් කර ගැනීමෙන් පසු මෑත මාස කිහිපය තුළ යුද්ධය ඇනහිට ඇත. සොලෙඩාර් නගරය රුසියානු අත්පත් කර ගැනීම හැරුණු විට, දෙපාර්ශ්වයම විශාල භෞමික දියුණුවක් ලබා නොමැති අතර රුසියානු ප්‍රහාර වෙනුවෙන් යුක්රේනයේ ප්‍රති ප්‍රහාර එල්ල කරනවා විනා සමස්තයක් වශයෙන් යුද්ධය මන්දගාමීය.

නමුත් යුක්රේනය සිය මිත්‍ර පාක්ෂික රටවල් වන එක්සත් ජනපදය, එක්සත් රාජධානීය, ජර්මනිය, පෝලන්තය, කැනඩාව, ප්‍රංශය යන රටවල්වල සහය ලබමින් ආයුධ අතින් සන්නද්ධ වෙමින් පවතින අතර රුසියාව ඒ පිළිබඳ දක්වන්නේ නිහඬ පිළිවෙතකි. ඔවුන්ගේ ආයුධ ප්‍රමාණයන් හා ධාරිතාවයන් පිළිබඳව කිසිවෙකු දන්නේ නැත.

එක්සත් ජනපදය පදනම් කරගත් යුද්ධය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ආයතනය (ISW) මෑතකදී කියා සිටියේ, මොස්කව් තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට සහ නැගෙනහිරට විශාල ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ කළ හැකි බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් අනතුරු අඟවා තිබුණේ රුසියාව ඉරානය සහ උතුරු කොරියාව වැනි රාජ්‍යන් හරහා නව ආයුධ, වැඩි පතොරම් ලබා ගනිමින්, ඔවුන්ගේම නිෂ්පාදනය වේගවත් කරමින් සිටින බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි