×

ග්‍රීන් ටී කෝප්පයකින් මරා දැමුණු රුසියානු ඔත්තුකරු ලිට්විනකෝ ගැන යුරෝපියානු අධිකරණයෙන් තීන්දුවක්

හිටපු රුසියානු රහස් ඔත්තුකරු එංගලන්තයේදී ඝාතනය කළේ රුසියාවයි - යුරෝපියානු අධිකරණය තීන්දු කරයි


2006 වසරේදී පෝලෝනියම් විෂ ශරීර ගත වීම මගින් ලන්ඩනයේදී මිය ගිය ඇලෙක්සැන්ඩර් ලිට්විනෙකෝ ඝාතනයට වගකිව යුත්තේ රුසියාව බව යුරෝපියානු අධිකරණය තීන්දු කළේය. මානව හිමිකම් සඳහා වන යුරෝපියානු අධිකරණය (ECHR) මෙහිදී පැවසුවේ, තමන්ගේ සහචර රුසියානු රහස් ඔත්තුකරුවන් දෙදෙනෙකු විසින් ලිට්විනෙකෝ ඝාතනය කර තිබෙන බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී තිබෙන බවයි.

මේ පිළිබඳ ක්‍රෙම්ලිනය විසින් රුසියාව තුළ සාධාරණ සහ ප්‍රමාණවත් විමර්ශනයක් පවත්වා නැති බව ද ඝාතනය සඳහා වගකිවයුත්තන් හට දඬුවම් ලබා දී නැති බව ද එහිදී පැවසිණි. එසේම ඔවුන් නිවැරදි තොරතුරු වසං කිරීම ද සිදුකර තිබේ.

මරණ මංචකයේ සිට පුටින් අමතයි

මේ, ලිට්විනෙකෝ මිය යන්නට දින 3කට පෙර ලබාගත් ඡායාරූපයකි.

 

ලන්ඩනයේ හෝටලයකදී ලිට්වියෙන්කෝ විසින් පානය කළ කොළ තේ කෝප්පයට උග්‍ර විකිරණශීලී පෝලෝනියම්-210 එක් කර තිබුණේ ඔහුගේ සහචර රුසියානු ඔත්තුකරුවන් දෙදෙනා විසිනි. 2006 නොවැම්බරයේදී සිය මරණ මංචකයේ සිටියදී ලිට්වියෙන්කෝ පැවසුවේ, තම මරණයට වග කිව යුත්තේ කවුද යන්න ගැන තමන්ට සැකයක් නැති බවයි.

‘‘තනි මිනිසෙකු නිහඬ කර ඔබ සාර්ථක වුණා වෙන්න පුළුවන්. නමුත් ලෝකය පුරා නැගෙන විරෝධය නතර කරන්න ඔබට බැරි වෙයි මිස්ට පුටින්..‘‘ යැයි ඔහු එහිදී කියා තිබිණි.

2016 වසරේදී බ්‍රිතාන්‍යය මෙම ඝාතනය සම්බන්ධයෙන් වෙනම විමර්ශනක් ආරම්භ කළ අතර, එහිදී හෙළි වුණේ බොහෝ විට රුසියානු නායක පුටින් විසින් ලිට්වියෙන්කෝ ඝාතනයට ලක් කිරීම අනුමත කර ඇති බවයි.

KGB රුසියානු රහස් ඔත්තු සේවයේ අනුප්‍රාප්තික රහස් ඔත්තු සේවය වන FSB හි කලක් සේවය කළ ලිට්විනෙකෝගේ විශේෂ දක්ෂතාවය පැවතියේ සංවිධානාත්මක අපරාධවල සුලමුල සෙවීම සම්බන්ධයෙනි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව අවසන් වරට අල්ලස් විරෝධී දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු සතුරන් රැසක් බිහි කර ගත්තේය. ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළා යැයි චෝදනාවක් 1998 වසරේදී ඔහුට විරුද්ධව නැගුණු අතර, ඉන්පසුව ඔහු රුසියාවෙන් පළා ආවේය. 1999 වසරේ රුසියාව විසින් චෙච්නියාව ආක්‍රමණය කිරීමට මුල් වූ සිය ගණන් දෙනා මිය ගිය මහල් නිවාස බෝම්බ සිද්ධි දාමය සම්බන්ධයෙන් රුසියාව අනතුරුව ඔහුට චෝදනා නැගුවේය. 2001 වසරේදී ලිට්විනෙකෝ සහ ඔහුගේ පවුලේ අයට එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණය ලැබිණි. මේ අතර, ක්‍රෙම්ලිනය දිගින් දිගටම ඔහුට රාජ්‍ය ද්‍රෝහී චෝදනා නැගුවේය. 2006 වසරේදී එක්සත් රාජධානියේ පුරවැසි භාවය ලබාගත් අවධියේම ඔහුව ඝාතනය කෙරිණි.

අද වන විට මරිනා ඇනා කාටර් නමැති ඔහුගේ වැන්දඹුව එක්සත් රාජධානියේ ජීවත් වෙයි. යුරෝපියානු මානව හිමිකම් අධිකරණය වෙත ලිට්විනෙකෝ ඝාතනය පිළිබඳ සිදුවීම 2007 වසරේදී ඉදිරිපත් කළේ ඇය විසිනි. මෙහි ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ මරියා සහ ලිට්නෙවිකෝ ය.

ස්ක්‍රිපාල් සිදුවීම

පසුකාලීනව ක්‍රෙම්ලිනය විවේචනය කරන, හිටපු රහස් ඔත්තුකරුවන් ඝාතනය කිරීමට තැත් කිරීමේ රටාව රුසියාව විසින් කලක පටන් සිදුකරගෙන එන එකක් බවට සාධක තිබේ. මේ හා සබැඳි ආසන්නතම සිද්ධිය වන්නේ 2018 වසරේදී රුසියානු රහස් ඔත්තුකාර සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යුලියා ට වස දීමේ සිද්ධියයි. මෙය සුවඳ විලවුන් බෝතලයක් ආශ්‍ර යෙන් සිදුකළ එකක් විය.

කියවන්න. සුවඳ විලවුන් බෝතලක සැඟවුණු නොවිචොක් ප්‍රහාරයේ සුලමුල

එක්සත් රාජධානියේ සැලිස්බරි හිදී සිදුවූ මෙම සිදුවීමට වගකිව යුත්තේ රුසියානු ජාතිකයන් දෙදෙනෙක් බව බ්‍රිතාන්‍යය කළ විමර්ශනවලින් හෙළි විය. එම රුසියානු ජාතිකයන් දෙදෙනා ද ඔත්තුකරුවන් බව හෙළි වී තිබේ. කෙසේ නමුත් සතියක් බරපතළ තත්වයෙන් සිටි ස්ක්‍රිපාල් පසුව සුවය ලැබුවේය.

මේ අතර, ස්ක්‍රිපාල්ට ලබාදුන් වස වර්ගයම ලබාදෙමින්, රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රෝගාතුර වීම සිදුවූයේ 2020 අගෝස්තු මාසයේ ය.

කියවන්න – ස්ක්‍රිපාල්ට දුන් වස වර්ගයම නවාල්නිටත් දීලා – රුසියානු විපක්ෂ නායකයා අසාධ්‍ය තත්වයෙන් ජර්මනියේ

ස්ක්‍රිපාල්ට දුන් වස වර්ගයම නවාල්නිටත් දීලා !- රුසියානු විපක්ෂ නායකයා අසාධ්‍ය තත්වයෙන් ජර්මනියේ

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි