×

නේටෝව රුසියාවට එරෙහි වෙයි – රුසියාව අවි අමෝරයි – සෙලෙන්ස්කිත් බබා උක්කුං වෙයි!

නේටෝ සංවිධානය විසින් ගනු ලැබූ තීරණය හමුවේ මෙම ගෝලීය අර්බුදය තවතවත් ව්‍යාකූල වනු මිස යුක්රේන - රුසියානු යුද්ධය අවසන් වීමක් හෝ ඉන් අහිමිවන ජීවිත සංඛ්‍යාවල පහත වැටීමක් නම් දක්නට නොලැබෙනු ඇත.


බටහිර කලාපයේ ආරක්ෂාවට ඇති ප්‍රභලතම තර්ජනය රුසියාව බවට නේටෝ සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව යුක්රේනයේ පවතින යුධමය වාතාවරණය හමුවේ එහි ආරක්ෂක තත්ත්වය තර කිරීමට පියවර ගත යුතු බව නේටෝ සංවිධානය නිගමනය කර තිබේ.

එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය ඇතුළු රටවල් 30ක් විසින් කලාපයේ යුධමය තත්ත්වයක් ඇතිවූ විට සාමාජික රටවලට සිදුවන ආපදා හමුවේ සන්නද්ධ සහාය ලබා දීම සඳහා පිහිටුවා ගත් උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයට (North Atlantic Treaty Organisation: NATO) අලුතින්ම එකතු වීමට නියමිත රාජ්‍ය දෙක වන්නේ ස්වීඩනය සහ ෆින්ලන්තයයි.

රුසියානු ව්‍යාප්තවාදයට එරෙහිව කවදත් එරෙහි වූ නේටෝ සංවිධානය මෙවර නේටෝ සමුළුවට සමාගාමීව කලාපයේ ආරක්ෂාවට ඇති ප්‍රභලම තර්ජනය රුසියාව බවට හඳුනා ගැනීමත් සමඟ රුසියානු සන්නද්ධ බලකා විසින් යුක්රේනයේ නැගෙනහිර කලාපයේ නගරයක් වන ලිසයිචැන්ස්ක් වෙත පහර දීම ආරම්භ කර තිබේ. ලිසයිචැන්ස්ක්  හි තෙල් පිරිපහදුවකට රුසියානු හමුදා පහර දුන් බව යුක්රේන කලාපීය ආණ්ඩුකාර සෙර්හියි ගයිදයි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මේ වන විට ලිසයිචැන්ස්ක්  හි පාලනය රුසියාව විසින් අත්පත් කරගෙන තිබේ. එමෙන්ම, යුක්රේනයේ ඊසානදිග කලාපයේ නගරයක් වන ඛර්කිව් වෙත ද රුසියානු හමුදා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව යුක්රේන මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රදේශයට රුසියාව පහර දුන්නේ ඇයි ද යන්න තවම පැහැදිලි නැති බව ද යුක්රේන හමුදාව ප්‍රකාශ කරයි.

නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පුවත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ යුක්රේනයට එරෙහි රුසියානු ජනපති පුටින්ගේ යුද්ධය යුරෝපයේ සාමය සුනුවිසුණු කර දැමීමට සමත්ව ඇති බවයි. ඒ අනුව යුරෝපීය රටවල එකමතුව මෙහිදී අත්‍යාවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.

මීට අමතරව, නේටෝ සංවිධානය විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය එහි සාමාජිකත්වයට බඳවා ගැනීම ගැන අදහස් දක්වමින් රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පවසා තිබෙන්නේ, ස්වීඩනය සහ ෆින්ලන්තයේ ද යුධමය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට නේටෝ සංවිධානය කටයුතු කරන්නේ නම්, ඊට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමට රුසියාව ද සූදානම් බවයි.

එය එසේ තිබිය දී යුක්රේනය දැන් නැවත වරක් යුද්ධයට ආධාර කරන ලෙස ලෝකයෙන් ඉල්ලීමක් කර තිබේ. පහලොස්දහසකට ආසන්න පිරිසක් ලිසයිචැන්ස්ක්  හි අවතැන් වී සිටින අතරවාරයේ ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට හැකි උපරිමය සිදුකිරීමට කටයුතු කරන බවට යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

යුද්ධය උමතුවක් බවට පත්කර ගනිමින් යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි පසුගිය දින වල මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ලොව විවිධ රටවල නායකයන්ට පරිභව කිරීමට පටන් ගත්තේ පවතින යුක්රේන – රුසියානු යුධමය තත්ත්වය හමුවේ යුක්රේනයට ආධාර ලබා නොදෙන රටවල් විවේචනය කරමිනි. ඉකුත් පෙබරවාරියේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වූ මොහොතේ පටන් ඉතා හැඟුම්බර මාධ්‍ය ප්‍රකාශ ලබා දීමට යුක්රේන ජනපතිවරයා කටයුතු කළ අතර, ඇතැමුන් ඔහුගේ මෙම හැසිරීම විග්‍රහ කරනු ලැබුවේ ඔහු ජනාධිපතිවරයකු වීමට පෙර පහසන රංගන ශිල්පියකු ලෙස කටයුතු කළ බැවින් මෙය ද රංගනයක් විය හැකි බවයි. සෙලෙන්ස්කි ගේ හැඟීම්බර මාධ්‍ය ප්‍රකාශ හමුවේ සැබවින්ම මුළුමහත් ලෝකයක හද දිනාගැනීමට ඔහු සමත් වූ අතර, ඔහු යුධ වීරයකු බවට පත්වීමට වැඩිකලක් ගත නොවීය. කෙසේවෙතත්, යුක්රේන – රුසියානු යුද්ධය දැන් ගොඩනැඟී ඇති මට්ටම හමුවේ එකඳු පාර්ශවයකට හෝ එය නතර කර දැමීමට උවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැති අතර, සෙලෙන්ස්කි ප්‍රමුඛ යුක්රේන රජය දිගින් දිගටම මෙම යුද්ධය කරගෙන යාමට හතර අතින් ආධාර ඉල්ලන තත්ත්වයකට පත්ව තිබේ.

ඒ අනුව, යුක්රේන ජනපතිවරයා නැවත වරක් තමාට මුදල් සහ ආයුධ අවශ්‍ය බවට නේටෝ සංවිධානයට පවසා තිබේ. මෙය හැකි තරම් කඩිනමින් ඉටුකරන ලෙස ද යුක්රේන ජනපතිවරයා නේටෝ සංවිධානය වෙත පවසා තිබේ.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ද පවසා සිටියේ බටහිරින් ස්පාඤ්ඤයේ සිට යුක්රේනයට මායිම් ව පිහිටි රුමේනියාව සහ පෝලන්තය දක්වා යුරෝපය පුරා තවත් ගොඩබිම්, සාගර සහ ගුවන් හමුදා මෙහෙයුම් දියත් කිරීමට කටයුතු කරන බවයි. බ්‍රිතාන්‍ය රජය පවසා සිටියේ, ගුවන් ආරක්ෂක පද්ධති, කාර්ය මණ්ඩල රහිත ගුවන් යානා සහ නව ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ ඇතුළු තවත් පවුම් බිලියනයක (ඇමරිකානු ඩොලර් බිලියන 1.2) යුධ ආධාර යුක්රේනයට සපයන බවයි.

යුක්රේන – රුසියානු යුද්ධයට කලාපීය බලවතුන් විසින් මෙසේ ලබා දෙන ආධාර වල සමස්ත එකතුව සලකා බැලුවහොත් එම යුද්ධයේ දාම ප්‍රතික්‍රියාවල වින්දිතයන් වන තුන්වන ලෝකයේ රටවල් වල දුපපත්කම එක රැයින් නිමකළ හැකිවිය යුතු ය. එසේ තිබියදී නේටෝ සංවිධානය විසින් ඊයේ (29) දින ගනු ලැබූ තීරණය හමුවේ මෙම ගෝලීය අර්බුදය තවතවත් ව්‍යාකූල වනු මිස යුක්රේන – රුසියානු යුද්ධය අවසන් වීමක් හෝ ඉන් අහිමිවන ජීවිත සංඛ්‍යාවල පහත වැටීමක් නම් දක්නට නොලැබෙනු ඇත.

පුටින් නේටෝවේ ‘අධිරාජ්‍ය අභිලාෂයන්’ හෙළා දකියි

ලෙයට ලෙයක් ඇති මෙහෙම ලෙයක් නැති සෙලෙන්ස්කි වන්නම..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි