×

New START න්‍යෂ්ටික ගිවිසුම දීර්ඝ කිරීමට රුසියාවෙන් ඉල්ලීමක්!

මෙම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා ගේ පාලන සමය තුළදී ය.


න්‍යෂ්ටික සුපිරි බලවතුන් වන ඇමරිකාව හා රුසියාව අතර පවතින New START න්‍යෂ්ටික පාලන ගිවිසුම ඉදිරි වසර 5ක කාලයකට දීර්ඝ කිරීමට රුසියාව උනන්දුවෙන් පසුවන බව එරට රාජ්‍ය නිලධාරියකු පසුගිය බදාදා (27) දින ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මෙකී ගිවිසුම වසර 5 කාලයකට වඩා අවම දීර්ඝ කිරීමකට වුවද මොස්කව් නගරය එකඟතාව පළකර ඇති බවද එම නිලධාරියා ප්‍රකාශ කර ඇත. 

න්‍යෂ්ටික බලවතුන් දෙපාර්ශවය අතර පවතින New START න්‍යෂ්ටික ගිවිසුම එළඹෙන 2021 පෙබරවාරි මස කල් ඉකුත් වීමට නියමිත අතර, වොෂිංටනය හා මොස්කව් නගරය අතර අවසාන වරට අත්සන් යෙදුනු ප්‍රධාන අවි-පාලිත ගිවිසුම ලෙසද මෙය හැඳින්වේ. මෙකී ගිවිසුම මඟින් දෙපාර්ශවයට යෙදවිය හැකි උපායමාර්ගික න්‍යෂ්ටික යුධ මිසයිල සංඛ්‍යාව 1550 ක් දක්වා සීමා කරයි. මෙම මස මුලදී රුසියාව අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ මෙකී ගිවිසුම පූර්ණ වශයෙන් සංශෝධනය කිරීම සඳහා දෙරට අතර සාකච්ඡා පැවැත්වීමට කාලවේලාවක් නොමැති බවත්, දීර්ඝ කිරීමක් සඳහා ඇති කාලයද වැයවෙමින් පවතින බවත් ය. 

මේ පිළිබඳ රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ර්යාබ්කොව් මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි:

මෙම ගිවිසුමෙහි දක්වා ඇති පරිදි ඉදිරි වසර 5 ක කාලය සඳහා දීර්ඝ කිරීමට අප එක්සත් ජනපදය වෙත යෝජනා කළෙමු. නැතහොත්, මෙම කාලය පිළිබඳ එක්සත් ජනපද පාර්ශවයට යම් අපහසුතාවක් ඇත්තේ නම් ඊටත් අවම කාලයක් සඳහා දීර්ඝ කිරීමට යෝජනා කළෙමු.

කිසිවක් සිදුනොවනවාට වඩා එවන් දීර්ඝ කිරීමක් හෝ පැවතීම යෝග්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. 

New START න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කිරීම සඳහා එක්සත් ජනපද පාර්ශවයෙන් මූලිකත්වය ගනු ලැබුවේ හිටපු ජනපති බැරක් ඔබාමා මහතා විසිනි. ඒ 2010 වර්ෂයේදී ය. කසේවෙතත්, මේ පිළිබඳ ඇමරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2017 වර්ෂයේදී රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් මහතා හට ප්‍රකාශ කර සිටියේ New START ගිවිසුම ඇමරිකාවට අහිතකර බවයි. ට්‍රම්ප් මහතා මෙම ගිවිසුම දීර්ඝ කිරීමට කැමත්ත පළකරන්නේ ද නැත් ද යන වග ලබන වසරේදී දැන ගැනීමට හැකි වනු ඇති බවට එරට නිලධාරීන් පැවසීය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි