×

නීති නිසා ස්ථිර වාසස්ථානවල සිරවුණ රුසියාවේ අහිගුණ්ඨික ජනතාව.

ලෝකයේ විවිධ රටවල වාසස්ථාන සොයා ගිය අහිගුණ්ඨික ජනයා රුසියාවට සංක‍්‍රමණය වී තිබෙන්නේ අවස්ථා කිහිපයකදීය.


අහිගුණ්ඨික ජනතාව ලෝකයේ බොහෝ රටවල ජීවත් වන ජන කොටසකි. ඒ ඒ රටවල සංස්කෘතියද සමග මුසු වී තම ජන කොටසට අනන්‍ය වූ සංස් කෘතික ගුණාංගයන්ද සමග ජීවත් වන අහිගුණ්ඨික ජනයා පුරුදුව ඇත්තේ ස්ථිර වාසස්ථාන වලින් මිදී තමන්ට අවශ්‍ය හා ගැලපෙන වාසස්ථාන තාවකාලිකව සාදාගෙන ජීවත් වීමටය. ඔවුන් එක තැනක සිට තවත් තැනකට සංක්‍රමණය වන්නේය. එතැන කාලයක් ජීවත් වන ඔවුන් තවත් තැනකට සංක්‍රමණය වන්නේය. බෙහෝ විට ගංගා ආශ්‍රිතව සිය වාසස්ථාන සාදා ගන්නා මෙම ජනතාව සමූහයක් එක්ව වාසය කරති.

ලෝකයේ විවිධ රටවල වාසස්ථාන සොයා ගිය අහිගුණ්ඨික ජනයා රුසියාවට සංක‍්‍රමණය වී තිබෙන්නේ අවස්ථා කිහිපයකදීය. කි‍්‍ර.ව. 1500 දී පමණ ඔවුන් මුලින්ම රුසියාවට සංක‍්‍රමණයවී තිබෙන්නේ පර්සියාව, සිරියාව, ආර්මේනියාව සහ කොකේසස් හරහාය. දකුණු රුසියාවේ වාසය කරන අහිගුණ්ඨික ජනයා රුමේනියාව හරහා රුසියාවට සංක‍්‍රමණය වී තිබෙන්නේ ඊට පසුකාලයකදීය. එමෙන්ම උතුරු රුසියාවේ වාසය කරන අහිගුණ්ඨික ජනයා පින්ලන්තය හරහා එරටට සංක‍්‍රමණය වී තිබෙන්නේ 1559 දී පමණ ඔවුන් ස්වීඩනයෙන් පලවා හැරීමෙන් පසුය.19 වැනි සියවසට පෙර රුසියාවේ ගත කළ ජීවිතය පිළිබඳව එතරම් විස්තර වාර්තා වන්නේ නැත. එකල ඔවුන් ශීත සෘතු වලදී මොස්කව් නගර ප‍්‍රදේශවල ලීවලින් සාදන ලද කුඩා පැල්පත්වලත් අණ්ඩදැමූ කූඩාරම් වලත් අබලන් කරත්තවලත් දුෂ්කර ජීවිත ගත කළ බව සඳහන් වේ. ඔවුහු රැකියා වශයෙන් කම්මල් වැඩ, මුළුතැන්ගෙයට අවශ්‍ය උපකරණ සෑදීම වැනි කටයුතු කළහ.

ඇතමෙක් අශ්වයන් විකිණීම, හුවමාරු කිරීම ආදී වෙළඳ කටයුතුවල ද තවත් අහිගුණ්ඨික පිරිසක් ශාස්ත‍්‍ර කීමෙන් ද සිඟාකෑමෙන්ද ජීවත්වූහ.ඇතැම් අහිගුණ්ඨිකයෝ තැනින් තැනට ඇවිද යාම නවත්වා එක්තැනක පදිංචි වී පිළිවෙළ වූහ. ඔවුහු ශාන්ත පීටර්ස්බර්ග් නගරයටත් මොස්කව් නුවරටත් ගොස් නාට්‍ය සහ ගායක කණ්ඩායම්වලට බැඳී කටයුතු කළහ. එවැනි ගායක ජිප්සිවරුන් පිළිබඳව ලියෝ ටෝල්ස්ටෝයි වැනි ලෝ ප‍්‍රකට රුසියානු ලේඛකයින්ගේ පොත්වලද සඳහන් වේ. නිදසුනක් ලෙස ටෝල්ස්ටෝයිගේ ‘යුද්ධය සහ සාමය’ නවකතාවේ රදළ සමාජයේ භෝජන සංග‍්‍රහවලදී ජිප්සි ගායක කණ්ඩායම් ගෙන්වා ගත් අවස්ථා කිහිපයක් සඳහන් වේ. සාර් පාලන සමයේදී මොවුහු පීඩා වින්දහ. නමුත් වෙනත් රටවලදී තරම් මොවුහු වධහිංසාවලට ලක්නොවූහ. රුසියානු විප්ලවයෙන් (ඔක්තෝබර් විප්ලවය) පසු ඔවුන් පිළිබඳව රුසියානු ආණ්ඩුව තවදුරටත් සොයා බලන ලදී.

රුසියානු විප්ලවය කාලයේදී ඇතැම් අහිගුණ්ඨිකයින් සයිබීරියාවටත්, එතැනින් චීනය දෙසටත් ගිය බව කියැවේ.මේ කාලය තුළදී ඔවුන්ට අවන්හල්වල ගී ගැයීම සහ නැටීම කළ නොහැකිවූ අතර තමන්ගේ සුපුරුදු පැරණි රැකියා වූ ලෝහ කර්මාන්තය, ලාඩම් ගැසීම වැනි රැකියාවලට ඔවුහු යොමුවූහ. රුසියාව කොමියුනිස්ට් රටක් (සමාජවාදී) බවට පත්වූ පසුව අහිගුණ්ඨිකයින් සුලු ජන වර්ගයක් වුවද ඉබාගාතේ ඇවිද නොගොස් සාමූහික ජනජීවිතයකට හැඩ ගැසිය යුතු බවට නියමයක් 1956 ඔක්තෝබර් 5 දින සෝවියට් සමූහාණ්ඩුව විසින් නිකුත් කරන ලද නිසා අහිගුණ්ඨිකයින්ට ස්ථිර පදිංචියකට හැඩගැසීමට සිදුවිය. තමන්ට වාසය කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි