×

රුසියාව, ෆින්ලන්තයට ලයිට් කපයි!

නේටෝ සංවිධානයට බැඳෙන නවතම රට බවට පත්වීමට තමන් අදහස් කරන බව ෆින්ලන්තය පසුගියදා පැවසුවේය.


මෙය, නේටෝව අවුස්සාගෙන සිටින රුසියාවට යක්ෂයාරූඪ වීමට හොඳින්ම සෑහේ.

ඒ අනුව ෆින්ලන්තයට ලයිට් කපන්නට රුසියාව දැන් සැරසෙයි.

ඒ, ෆින්ලන්තය ද ඇතුළු නෝර්ඩික රටවලට බලශක්තිය අපනයනය කරන රුසියාවේ RAO Nordic සමාගමේ නවතම නිවේදනය මගිනි.

ඒ අනුව ඔවුන් පවසන්නේ ගෙවීම් ගැටළු මත ෆින්ලන්තයට ලබාදෙන විදුලි සැපයුම කපා හැරීමට තමන්ට සිදුවන බවයි.

මීට පෙර ලබාදී ඇති බලශක්ති සැපයුම් සඳහා තවමත් ගෙවීම් කර නැති බව සමාගම පවසයි.

ෆින්ලන්තය අඳුරට යයිද?

ෆින්ලන්තය, රුසියාවේ නැගෙනහිර දේශසීමා අසල්වැසියා ය. මේ දෙරට සැතපුම් 810 ක දේශසීමාවක් හවුලේ භුක්ති විඳිති. නේටෝ සංවිධානයට සම්බන්ධ වීමේ සිය අභිලාෂය පළ කරන අතරම ෆින්ලන්තය පැවසුවේ තමන්ට සිය නැගෙනහිර අසල්වැසියා කෝප කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. එනිසා රුසියාව පය ඉස්සර කළ බව පෙනේ.

කෙසේ නමුත් ලොව දියුණුතම සහ පරිසර හිතකාමී ම රටක් වන ෆින්ලන්තය සිය බලශක්ති සැපයුම සඳහා රුසියාව පමණක් නොව ලොව ඔ්නෑම රටක් මත රඳා පවතින්නේ ඉතාම සුළු වශයෙනි. ඔවුන්ට උවමනා තරම් විකල්ප බලශක්ති ක්‍රම තිබේ.

ෆින්ලන්තයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බයෝ එනර්ජි හෙවත් ජීව බලශක්තියයි. සුළං බලයෙන් පමණක් නොව භූගත තාපයෙන් පවා ෆින්ලන්තය විදුලිය නිපදවා ගනියි.

RAO Nordic සමාගම ෆින්ලන්තයට විදුලි බලය අපනයනය කිරීමට අවුරුදු 20 ක තරම් දැවැන්ත ඉතිහාසයක් ඇත. නමුත් මෙවැන්නක් සිදුවන්නේ පළමු වතාවට ය. ලෝකයට එයින් පණිවුඩයක් ලැබෙනු ඇත. ඒ, රුසියාව තමන්ගේ පසමිතුරු රටවල් වලට එරෙහිව හැ‌කි හැම දෙයක්ම කරනු ඇති බවයි.

නමුත් කූඹියෙකු මුත්‍රා කර සිය සගයන්ගෙන් ”මචං, ගඟක් වගේ නේද බං?” යැයි අසා උදම් අනන කතාව ද මෙහිදී ඔබ සිහිපත් කර ගත යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි