×

ඉන්දියන් සාගරයේදී කරදිය – මිරිදිය වන හැටි : මුහුදු ජලයෙන් පිරිසිදු පානීය ජලය!

හාස්කමක් නොවේ මෙය - මුහුදු වතුර රස කර බොමු!‍ නමුත්... මේ ඇමරිකානු කුමන්ත්‍රණයක්ද? ජලය විකිණීමේ ජාවාරමක්ද?


කළු කපුටා සුදු වන තුරු – මෝල් ගහෙන් දළු එනතුරු මුහුදු වතුර ලුණු රස යැයි කියමනක් සිංහලයන් අතර තිබේ. එතැනදී මුහුද යැයි කියන ඉන්දියන් සාගරයේ කරදිය වළල්ලයි. මේ කරදිය, කෙන්යාවේදී මිරිදිය බවට පත් කරනු ලැබේ. මේ ඒ කතාන්දරයයි.

වසර 2025 වන විට ලෝකය මුහුණදීමට නියමිත සෞඛ්‍යාරක්ෂිත පානීය ජල හිඟයට හොඳම විසඳුම වනු ඇත්තේ මහා සාගරය සහ සූර්ය බල ශක්තියයි.

මේ ක්‍රමය කොතරම් සාර්ථක ද යත්, දිනකට මිනිසුන් 25,000 කුගේ පිපාසය ඇතුළු සියලුම ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයට පිරිසිදු කරගත් ජලයෙන් පවස නිවාගන්නා කෙන්යානු ජාතික දරුවන් දෙදෙනෙකි.

GivePower
GivePower

‘ගිව් පවර්‘ .. නමැති මෙම ව්‍යාපෘතිය, කිසිසේත්ම ලාභ ලැබීම අරමුණු කර ගත් එකක් නොවේ. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බලාගාරයක් ( solar-powered desalination plant) මගින් මෙහිදී සාගර ජලය බීමට ගත හැකි පිරිසිදු ජලය බවට පත්කරයි. මෙම පළමු අත්හදා බැලීම සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ කෙන්යාවේ වෙරළබඩ ජනාවාසයන් ය.

ඔබ දැන ගත යුතු දේ

  • ලෝක ජනගහනයෙන් හරි අඩක් වසර 2025 වන විට ජීවත් වනු ඇත්තේ භූගත ජලය සිඳී ගිය ප්‍රදේශ වල ය.
  • දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්, ඉන්දියාවේ චෙන්නායි, චීනයේ බීජිං මේ අතරින් ප්‍රධාන ය.
  • ලෝක ජනගහනයෙන් 1/3 ක් මේ වන විට පිරිසිදු පානීය ජලය නොමැතිව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.
  • මේ අතර පෘථිවි ගෝලයෙන් 2/3කම පැතිර තිබෙන්නේ මහා සාගරයයි.
  • මේ අනුව මුහුදු ජලයෙන් ලුණු රස ඉවත් කිරීම මගින් බලශක්තිය මෙන්ම පිරිසිදු පානීය ජලය ද නිපදවා ගත හැකිය.

වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් මෙවැනි තාක්ෂණයක් සොයාගැනීමට වෙහෙස වූ බව නොරහසකි. නමුත් ඒවා සාර්ථක වූයේ නැත. මේ අන්දමින් මේ තාක් කාලයකට දැරූ එම උත්සාහයන් අසාර්ථක වීමට හේතු වූයේ බලශක්ති කාර්යක්ෂමතාවය අඩු වීම සහ එහි පිරිවැය දරාගත නොහැකි තරම් අධික වීම ය.

කෙන්යාව මූලික කරගෙන GivePower ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මේ පසුබිම තුළ ය. එය සැබවින්ම අභියෝගයක් විය.

2018 ජූලි මාසයේදී මේ අනුව කෙන්යාවේ වෙරළබඩ කියුන්ගා ප්‍රදේශයේ ‘ලවණහරණ පද්ධතිය‘ හෙවත් මුහුදු ජලයෙන් ලවණ වර්ග ඉවත් කිරීමේ තාක්ෂණික උපාංග පද්ධතිය සවි කෙරුණේය. මේ වන විට එය සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටින්නේ දිනපතා මිනිසුන් 25,000 කුගේ ජල අවශතාවයට සරිලන පිරිසිදු ජලය ගැලුම් 19,800 ක් හෙවත් ලීටර 75,000 ක් බැගින් නිපදවමිනි.

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ මේ විස්කම කරන බලශක්ති-ලවණහරණ බලාගාරයයි. පුරා මාසයක් මුළුල්ලේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් වැය කරමින් මෙය ඉදි කරනු ලැබිණි. ඉදිරියේදී මෙම බලාගාරයේ නිෂ්පාදන පිරිවැය ඩොලර් ලක්ෂය දක්වා අඩු කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.

GivePower
GivePower
GivePower
GivePower

මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේදී මුළු ලෝකය පුරාම ක්‍රියාත්මක කිරීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.

ජලය නැති නිසා පාසල් නොඑන ගැහැණු ළමෝ

GivePower රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘතියක් නොවේ. එය පුද්ගලික සමාගමක ව්‍යාපෘතියකි. 2006 වසරේදී එලන් මස්ක් සූර්ය පැනල නිපදවන සමාගමක් පිහිටවා ගත් අතර, එහි නම සෝලා සිටි – SolarCity ය. එහි ලාභ නොලබන ශාඛාවක් වශයෙන් 2013 වසරේදී GivePower බිහි කරනු ලැබිණි. 2016 වසරේදී එය එලන් මස්ක්ගේ ‘ටෙස්ලා‘ සමාගම සමග ඒකාබද්ධ කළ නමුත් පසුව එලන් මස්ක්ගේ සමාගම් ජාලය සමග පැවති සම්බන්ධයෙන් GivePower ඉවත් වූයේ ස්වාධීන ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත වෙමිනි.

GivePower යනු, සංවර්ධනය වෙමින් පවතින රටවලට සූර්ය ශක්තියෙන් විදුලි බලය ලබාදීම මූලිකකරගෙන ක්‍රියාත්මක වන සමාගමක් බව සමහරවිට ඔබ දැනටමත් දන්නවා ඇත. මේ වන විට එය ලෝකයේ රටවල් 17 ක – ස්ථාන 2650 ක ක්‍රියාත්මක වන්නේ ග්‍රාමීය පාසල්, වෛද්‍ය සායන සහ පිටිසර ගම්මාන විදුලි බලයෙන් ආලෝකමත් කරමිනි. කෙන්යාවෙන් පසු මේ සමාගම හයිටි රාජ්‍යය බලා යනු ඇත. කොළොම්බියාවේ ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු භූමියක් ඔවුහු මේ වන විට පිරික්සමින් සිටිති.

‘නමුත් පාසල්වල විදුලි බලය නැතිවීමටත් වඩා පිරිසිදු ජල සැපයුමක් නැති වීම ගැහැණු දරුවන්ට ප්‍රශ්නයක් බව අපි තේරුම් ගත්තා“ යැයි ගිව්පවර් සාමාජිකයෙක් පවසයි. අප්‍රිකාවේදී සහ ආසියාවේදී මේ තත්වය විශේෂිත වන්නේ, ජලය හිඟ කාලවලදී ගැහැණු දරුවන්ගේ පාසලට නොපැමිණීම් වැඩි වශයෙන් වාර්තා වන නිසා ය. එයට හේතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙසේ පහදා දෙයි. ‘‘අප්‍රිකාවේදී සහ ආසියාවේදී ජලය ගෙන ඒම සඳහා කාන්තාවන් සහ ගැහැණු දරුවන් සාමාන්‍ය වශයෙන් දිනකට සැතපුම් 3.7 ක දුරක් ඇවිද යා යුතු වන්නේ ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති කාලය සහ ශක්තිය අහිමි කරමිනි!“

අප්‍රිකානු මහද්වීපය තුළ ජලය යනු ‘ගෑනු ප්‍රශ්නය‘කි. නිවසේ ජලය නොමැති නම් ජලය ගෙන ඒම කාන්තාවගේ වගකීමක් වන අතර, වතුර ඇති තැනකින් – කොයි ලෝකයෙන් හෝ ගෙන ඒම කාන්තාව වශයෙන් ඇගේ ජන්ම වගකීමක් බවට සමාජය විසින් පත් කර තිබේ.

සූර්ය බලයෙන් විදුලිය නිපදවන අතරම ජලයේ ලවණ ඉවත් කරන ව්‍යාපෘතිය ‘ගිව් පවර්‘ විසින් ආරම්භ කරන්නේ ඒ සියලු සාධක සලකා බලමිනි.

Water is critical for sustainable development, including environmental integrity and the alleviation of poverty and hunger, and is indispensable for human health and well-being.

United Nations

සැබවින්ම ලවණ හරණ තාක්ෂණය මීට පෙර ද පැවසූ අන්දමට ලෝකටය අලුත් දෙයක් නොවේ. නමුත් ඒ සඳහා අධි බලැති වතුර පොම්ප යොදාගත යුතු නිසාත්, අධික බල ශක්ති ප්‍රමාණයක් වැය කළ  යුතු වීම නිසාත් එහි පිරිවැය/වියදම ඉතා අධික ය. ගිව් පවර් විසින් මේ සඳහා ඉදිරිපත් කළ විසඳුම වන්නේ සෝලා-මයික්‍රොග්‍රිඩ් තාක්ෂණය – solar-microgrid system නමැති සූර්ය-ක්ෂුද්‍ර ජාලක පද්ධතියකි. එයට අවශ්‍ය බලශක්තිය ටෙස්ලා බැටරිවලින් සපයා ගැනේ. සමාන්තර පොම්ප දෙකක් ද ඒ සඳහා යොදාගන්නේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම පිණිස ය. එවිට එක් ජල පොම්පයක් අලුත්වැඩියා කරන අවස්ථාවකදී වුවද අඛණ්ඩ ජල සැපයුමක් ලබාගත හැකිය.

තිරසාර ක්‍රමයක් – වතුර ලීටරයක් ඩොලර් ශත කාලයි!

මෙම බලාගාරය ඉදිකිරීමට ගිය වියදම සහ එය පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම සපුරා ගන්නේ කෙසේද? මේ සඳහා මුල් වූයේ පුද්ගලික සමාගමක් බව ඔබ දැනටමත් දන්නා නිසා මේ ප්‍රශ්නය ඔබ නිසැක වශයෙන්ම අසනු ඇත.

ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන තිරසාර විසඳුම වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට ජලය ලීටරයක් ඩොලර් ශත කාලකට අලෙවි කිරීමයි.

මෙම ව්‍යාපෘතියට පසුගිය වසරේ ඇමරිකානු මහ බැංකුව (බෑන්ක් ඔෆ් ඇමරිකා) ඩොලර් 25,000 ක් ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතිය සාර්ථක කර ගත්තේ තවත් සංවිධාන කිහිපයක සහ සමාගම් කිහිපයක මූල්‍යාධාර මගිනි.

ඒ නිසා මෙය ජලය විකිණීම සඳහා ඇමරිකානු රජය ගැසූ ගැටයකැයි ඔබ සිතනු ඇත. විජාතික හෝ බහුජාතික කුමන්ත්‍රණයකැයි ද එයට කියන්නට ඉඩ තිබේ.

නමුත් කෙන්යාව බිහිවූ දිනයේ පටන්ම කෙන්යාවේ එක් පසෙකින් ඉන්දියන් සාගරය පිහිටා තිබුණේය. කෙන්යානු ජනගහනයෙන් 48%කට ම පිරිසිදු පානීය ජලය නොමැති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ රට වර්ගීකරණය කර තිබෙන්නේ ජලය හිඟ රටක් (water-scarce country) ලෙස ය. එනමුත් නිසි ජල කළමනාකරණයක් තිබුණේ නම්, රටෙන් 22.5%ක් වසාගෙන සිටින මහා විල්වලින් කෙන්යානු ජනතාවට පිරිසිදු ජලය ලබාදීමට නොහැකි කමක්ද නැත. කියවන්න- https://m.scirp.org/papers/87549 මිලියන 52 ක ජනතාවක් ජීවත් වන, ක්‍රිස්තු පූර්ව 500 දක්වා දිව යන ඉතිහාසයක් ඇති කෙන්යාවේ මේතාක් කාලයකට බිහිවූ කිසිම පාලකයෙක් ජනතාවගේ පවස නිවන්නට තිරසාර ක්‍රමයක් සොයාගත්තේ ද නැත. දැන් ඒ සඳහා පුද්ගලික සමාගම් මැදිහත් වී තිබෙන විට විජාතික කුමන්ත්‍රණය යනාදිය කියමින් උහුරු කෙන්යාටාගේ ආණ්ඩුව හෝ එහි පුරවැසියන් වීදි බැස්සේ ද නැත.

කෙන්යාවේ පිහිටීම

දැන් කෙන්යාවේ මෙම ජල ව්‍යාපෘතිය ආශ්‍රිතව ජීවත් වන ගැහැණු ළමෝ පාසල් එති. පාසලට විදුලි බලය මෙන්ම ජලය ද ලබා දෙන්නේ එම ව්‍යාපෘතිය මගිනි. එම ජලයම ඒ ගැහැණු ළමුන්ගේ මව්වරුන්ගේ මුළුතැන්ගෙට ද සැපයේ. මෙතෙක් කල් ජලය නැති කම නිසා මුහුදු ජලයෙන් රෙදි සේදූ අම්මලා දැන් සැහැල්ලුවෙන් යුතුව මිරිදිය ජලයෙන් රෙදි සෝදන අන්දමද, මුහුදු ජලයෙන් ඇඟ සේදීම නිසා ඇඟේ පලු-දද හැදුණු ඒ මව්වරුන්ගේ දරුවන් මිරිදිය ජලයෙන් සිරුර දොවාගන්නා අන්දම ද කෙන්යාවේ කියුන්ගා නගරයේදී ඔබට දැකගත හැකිය. ඒ සියල්ලටම මුල පිරුවේ ‘ගිව් පවර්‘ නමැති පුද්ගලික සමාගමකි.

පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය ඔවුන් විසඳාගෙන තිබෙන්නේ ආදායම, සමාජ වගකීම සහ සමාජ සුබ සිද්ධිය සමග ඒකාත්මික කරමිනි. මෙවැනි මානව ව්‍යාපාර පිළිබඳ අප කතා කළ යුතු වන්නේ ඒ නිසා ය.

පුද්ගලික අංශය හැමවිටම ලාභය පසුපසම යන්නේ යැයි ද, පුද්ගලික අංශයේ ව්‍යාපෘතියක් ‘ලාභ නොලබන‘ (Non-profit) ගණයට කිසිදා අයත් වන්නේ නැතැයි ද අදහාගෙන සිටින ලෝකයට මේ සමාගම හොඳ කනේ පාරක් ගසා ඇති බව නොකියාම බැරි ය.

රටක පුද්ගලික අංශය සැබවින්ම මැදිහත් විය යුත්තේ මෙවැනි ව්‍යවසායන්ට ය. දියුණු ලෝකයේ මේවාට කියන නමක් තිබේ. ඒ, ‘Social enterprises‘ හෙවත් ‘සමාජ ව්‍යවසායයන්‘ ය.

මූලාශ්‍රය – Bussiness Insider : A solar-powered system can turn salt water into fresh drinking water for 25,000 people per day. It could help address the world’s looming water crisis.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි