×

ලැව්ගිනි සහ දේශගුණික විපර්යාසය අතර සම්බන්ධයක් නැහැ – ඔස්ට්‍රේලියානු අගමැති

ලැව්ගිනි අස්සේ නිවාඩු ගියෙමි. සමාවන්න.. යැයි කී ඔස්ට්‍රේලිියානු අගමැති ස්කොට් මොරිසන්, හවායි නිවාඩුව අහවර වී රාජකාරියට වාර්තා කළේය.


රටේ හදිසි තත්වයක් ඇති වී තිබියදී නිවාඩුගත් ඔස්ට්‍රේලියා අගමැති, ඉන් පසුව කීවේ අරුම පුදුම කතාවකි.

‘‘රටේ පවතින විනාශකාරී ලැව්ගිනි (බුෂ් ෆයර්ස්) තත්වය සහ දේශගුණික විපර්යාසය අතර සම්බන්ධයක් ඇතැයි විශ්වාසනීය සාධක නොමැති බව‘ ඔහු පැවසුවේය.

අවම වශයෙන් නව දෙනෙකු මරා දැමූ මේ ලැව්ගිනි තත්වයට වෙනත් සාධක ගණනාවක්ම බලපා ඇති බව ද ඔහු තවදුරටත් කීවේය.

Fire News

ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් – Fire News

මේ අනුව, දේශගුණික විපර්යාසයන් සහ මිහිතලය උණුසුම් වීම අතර සම්බන්ධයක් නැතැයි කී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ට්‍රම්ප් ක්ලබ්‘එකට ඔස්ට්‍රේලියානු නායකයා ද ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාව ලෝකයේ ලොකුම කාබන් විමෝචකයෙකි. එයට හේතුව වන්නේ ඔස්ට්‍රේලියාව තවමත් ප්‍රධාන වශයෙන් ගල් අඟුරුවලින් බල ශක්තිය ලබාගැනීම මත රඳා පැවතීමයි. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක සමුළුවේදී ද, පැරණි තාලයට කාබන් විමෝචනය කරන ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් ඈත්වී සිටීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ඇතුළු දකුණුදිග ඔස්ට්‍රේලියාව පුළුස්සා දමමින් පැතිර යන ලැව්ගිනි සඳහා ප්‍රධානතම සාධකය දේශගුණික විපර්යාස බවට විද්‍යාඥයෝ නැවත නැවතත් ප්‍රකාශ කරති.

ලෝක විනාශය තේමාකරගත් බොහෝ චිත්‍රපට ආරම්භ වන පොදු ජවනිකාවක් තිබේ. එය නම්, දේශපාලකයන් විසින් විද්‍යාඥයන්ගේ මතයන් නොසලකා හැරීමයි.

ස්කොට් මොරිසන් ද දැන් ට්‍රම්ප් ගණයේ එවැනි දේශපාලකයෙකු බවට පත්ව තිබේ.

පෙර ලිපි මෙතැනින් කියවන්න



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි