×

පළමු ජේම්ස් බොන්ඩ් නොහොත් ශ්‍රීමත් ෂෝන් කොනරි සමුගෙන යයි

සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ජේම්ස් බොන්ඩ් චරිතය ට ජීවය පෙවූ ප්‍රථමයා - ෂෝන් කොනරි අද දින අභාවප්‍රාප්ත විය.


මිය යන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.

මෙම සම්භාවනීය ස්කොට්ලන්ත ජාතිකයාගේ රංගන ජීවිතය ඔස්කාර් සම්මානයක්, බැෆ්ටා සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 3 කින් විචිත්‍රවත් වී තිබිණ.

ඉන්ඩියානා ජෝන්ස්, ලාස්ට් කෘෘසේඩ්, ද හන්ට් ෆෝ රෙඩ් ඔක්ටෝබර් සහ ද රොක් යන චිත්‍රපටවල ද ඔහු දායකත්වය ලබාදුන්නේය.

1988 දී ඔහු ඔස්කාර් සම්මාන දිනුවේ ‘අන්ටචබල්ස්‘ හි අයර්ලන්ත පොලිස් භටයෙකු ලෙස සිදුකළ රංගනය වෙනුවෙනි.

2003 වසරේදී ෂෝන් කොනරි The League of Extraordinary Gentleman චිත්‍රපටයට සිය 93 වැනි සහ අවසාන චිත්‍රපටය ලෙස රංගනයෙන් එක් විය. 2006 වසරේදී රඟපෑමෙන් නිල වශයෙන් විශ්‍රාම ගියේය.

2000 වසරේදී ඔහු බ්‍රිතාන්‍ය මහරැජින අතින් නයිට් නාමයෙන් පුද ලැබීය.

හත් වතාවක් ජේම්ස් බොන්ඩ්

ආධුනික බොඩිබිල්ඩර් කෙනෙකු ලෙස 50 දශකයේ අග භාගයේ බ්‍රිතාන්‍ය චිත්‍රපට කිහිපයක රඟපෑමේ ප්‍රතිඵලය වුයේ පළමු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය, ‘ඩොක්ටර් නෝ‘ Dr. No (1962) හි ප්‍රධාන චරිතය ලෙස ඔහුව තෝරාගැනීමයි. ඉයන් ෆ්ලෙමිංගේ සිතේ සිටි නළුවා ෂෝන් කොනරි නොව කේරි ග්‍රාන්ට් ය. නමුත් පළමු රූගත කිරීම්වලින් පසු ඉයන් ෆ්ලෙමිං මෙසේ කීවේය. ‘‘ඔහු තමයි ගැළපෙනම කෙනා..‘‘

අනතුරුව තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට හයක, එනම් සම්පූර්ණ චිත්‍රපට 7 ක ඔහු 007 (ඩබලෝසෙවන්) නමැති අංකය සහිත රහස් පරීක්ෂකයා හෙවත් ජේම්ස් බොන්ඩ් බවට පත් විය.

ඉයන් ෆ්ලෙමිං, ඩොක්ටර් නෝ චිත්‍රපටයෙන් පසුව සෑම ජේම්ස් බොන්ඩ් නවකතාවක්ම ස්කොට්ලන්ත පසුබිමක් යොදාගෙන ලිවීමට හේතුව ෂෝන් කොනරි ව ම ඒ සඳහා යොදාගැනීමට තිබූ උවමනාවයි.

එනම්, Dr. No (1962) සිට පුරා අවුරුදු 21 ක් 1983 වසර දක්වාම ඔහු නොකඩවා ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීය.

මේ අතරින් ඔහු වඩාත්ම ප්‍රිය කළ බොන්ඩ් චිත්‍රපටය ලෙස සැලකෙන්නේ From Russia With Love ය.

ඔහු 2004 වසරේදී ‘ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ඨතම ස්කොට් ජාතිකයා‘‘ (The Sunday Herald විසින්) ලෙසද නම් ලද අතර 2011 වසරේදී යූරෝ මිලියන්ස් සමීක්ෂණය ඔහුව හැඳින්වූයේ ‘ස්කොට්ලන්තයේ ශ්‍රේෂ්ඨතම ජීවමාන දායාදය‘ යනුවෙනි. මේ අතර 1989 වසරේදී පීපල් සඟරාව ඔහුව ‘ලෝකයේ සරාගීම පිරිමියා‘ ලෙස නම් කළ අතර, එයට දස වසරකට පසුව 1999 දී ‘සියවසේ සරාගීම පිරිමියා‘ ලෙස ද නම් කෙරුණේය.

ශ්‍රීමත් වූ කිරි විකුණන කොලුවා

දිනක් ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සිනමා සැණකෙළියට සහභාගි වීමට ෂෝන් කොනරි ටැක්සියකින් යමින් සිටියේය. ටැක්සි රියැදුරා පුදුමයට පත් ව සිටියේ සිය මගියා පසුකර යන හැම වීදියක්ම ඉතාම හොඳින් මග සලකුණු සමග පැවසීමට දැන සිටි නිසා ය.

‘‘සර්, ඔබ කොහොමද මේව දන්නෙ?“ යැයි ටැක්සි රියැදුරු ඇසුවේය.

‘‘මම පුංචි කොල්ලෙක් කාලෙ මේ පාරක් පාරක් ගානෙ කිරි බෝතල් විකුණුවා..‘ එය ශ්‍රීමත් ෂෝන් කොනරි දුන් පිළිතුර විය.

ඒ කිරි විකුණන කොල්ලා පසුව ලොරි රියැදුරෙකු බවට ද පත්විය. රාජකීය නාවික හමුදාවට ද, පාපන්දු සමාජයකට ද බැඳී කලක් ගත කළේය. මිනී පෙට්ටි සාප්පුවක මිනී පෙට්ටි ඔප දමන්නෙකු ලෙස ද කටයුතු කළේය. අවසානයේ ඔහුගේ නවාතැන වූයේ එඩින්බර්ග් කලා කොලීජියයි.

‘‘මගෙ නම බොන්ඩ්.. ජේම්ස් බොන්ඩ්…‘‘

1962 වසරේ තිරගත වූ ඉයන් ෆ්ලෙමිංගේ ඩොක්ටර් නෝ චිත්‍රපටයේ ෂෝන් කොනරිගේ නම තිරයේ දිස්වන්නේ Starring Sean Conary 007 යනුවෙනි. ‘‘007‘‘ යන්න ජේම්ස් බොන්ඩ් නමැති රහස් පරීක්ෂකයා සමග ආබද්ධ කළේත්, එතැන් පටන් පුරා දශක 3 ක කාලයක් ලෝකයම උමතු කරවන්නට ඒ චරිතය සමත් වුණේත් ෂෝන් කොනරි ගේ රංගන මහිමය නිසා ය. අද පවා ජේම්ස් බොන්ඩ් ගැන ලෝකයේ නොදන්නා කෙනෙක් නැත. අවිවාදයෙන්ම ජේම්ස් බොන්ඩ් ‘බ්‍රෑන්ඩ් එක‘ හෙවත් සන්නාමය ලෝකයට බිහි කළේ ෂෝන් කොනරි ය. සෑම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් ආරම්භයේදී ම කියැවෙන ‘මයි නේම් ඊස් බොන්ඩ්, ජේම්ස් බොන්ඩ්‘‘ යන්න ලොවපුරා සිනමා රසිකයන්ට කටපාඩම් කරවූයේ ඔහු ය. ඔහුව පුරා දශක දෙකක්ම ලෝකය දැන සිටියේ ෂෝන් කොනරි ලෙස නොව ජේම්ස් බොන්ඩ් ලෙස ය.

මේ අතර ඔහු නිසා තවත් ජේම්ස් බොන්ඩ්ලා ද ලෝකයේ දුසිම් ගණන් බිහිවිය. ‘ද ස්කොට්ස්මන්‘ වෙබ් අඩවියකට අනුව වරක් ෂෝන් කොනරිගේ වාහනය අධි වේගය නිසා පොලිස් භටයෙකු විසින් නතර කරනු ලබයි. එම පොලිස් භටයා තමන්ව ෂෝන් කොනරි ට හඳුන්වා දුන්නේ ‘මගෙ නම ජේම්ස් බොන්ඩ්‘‘ යනුවෙනි!

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට රඟපෑ නළුවෝ

2020 අගෝස්තු මාසය තරම් මෑතකදී ද බ්‍රිතාන්‍යයේ  Radio Times විසින් ජේම්ස් බොන්ඩ් රසිකයන් 14,000 ක් යොදාගෙන ඔවුන්ගේ ජනප්‍රියතම ජේම්ස් බොන්ඩ් නළුවා කවුදැයි සමීක්ෂණක් පැවැත්වීය. පියර්ස් බ්‍රොස්නන් යනාදී සෙසු බොන්ඩ් නළුවන් සියලු දෙනා පරදවා වැඩිම මනාපය, දශක 3කට පසුවත් දිනාගත්තේ ෂෝන් කොනරි විසිනි. ඔහු  රසිකයන්ගේ ප්‍රියතමයා හෙවත් ‘ෆෑන් ෆේවරිට්‘ ලෙස සැමදා රැඳී සිටියේය.

ලෝකයේ එදා මෙදාතුර බිහිවූ ජනප්‍රියම බ්‍රිතාන්‍ය රහස් ඔත්තුකරුවා ඒ නිසා ජේම්ස් බොන්ඩ් නොහොත් ෂේන් කොනරි ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි