×

බංග්ලාදේශය දැඩි ආරක්ෂාව මැද මහ මැතිවරණයට

අගමැතිනී ෂෙයික් හසීනා තුන්වැනි වරටත් තේරී පත්වීමේ බලාපොරොත්තුවෙන් පවත්වන බංග්ලාදේශ මහමැතිවරණය අදට යෙදී තිබේ.


මිලියන 100 ක ජනතාවක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

ප්‍රචණ්ඩක්‍රියා ඇති වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, 600,000 ක ආරක්ෂක භටයන් පිරිසක් සේවයේ යොදවා සිටිති.

මේ වන විටත් විරුද්ධ පාක්ෂිකයන් එකිනෙකා අතර ඇති වූ ගැටුම්වලින් 12 දෙනෙක් පමණ මරණයට පත්ව ඇත.

අගමැතිනී ෂෙයික් හසීනාගේ ප්‍රධානතම විරුද්ධවාදියා වන බෙගම් ඛලීඩා ෂියා දූෂණ චෝදනා ලබා සිරගතව සිටින අතර, විචාරකයන් පවසන්නේ හසීනා ජය ගැනීමට වැඩි ඉඩක් පවතින බවයි.

මෙයට දින 3ක පටන්, පූර්ව මැතිවරණ පියවරක් ලෙස අධිවේගී ජංගම දුරකථන අන්තර්ජාල පහසුකම් කපා හැරීමට ද ෂෙයික් හසීනා රජය පියවර ගෙන තිබිණි.

AFP/GETTY
පුරා වසර 9 ක් බලයේ සිටින ෂෙයික් හසීනා |AFP/GETTY
AFP/GETTY
දූෂණ චෝදනා 2 ක් සඳහා වසර 17 ක සිර දඬුවමක් විඳිමින් සිටින ඛලීඩා ෂියා | AFP/GETTY

මේ මැතිවරණය මෙතරම් වැදගත් ඇයි?

බංග්ලාදේශය, මිලියන 160කට වඩා වැඩි ජනගහනයක් ජීවත් වන, මුස්ලිම් බහුතරයක් වෙසෙන රටකි. ආසියාවේ වේගයෙන්ම දියුණු වන ආර්ථිකයක් බවට පත්ව ඇතත්, දුප්පත් කම, දූෂණය සහ විනාශකාරී දේශගුණික වෙනස්වීම්වලට එය විශාල වශයෙන් මුහුණ දෙයි. එසේම 2016 ජූලි මාසයේ අයිසිස් භටයන් විසින් ඩකා අගනුවරට එල්ල කළ ප්‍රහාරයත් සමග, ඉස්ලාමීය ත්‍රස්තවාදය පිටුදැකීම ද එහි දේශපාලන න්‍යායපත්‍රයේ ඉහළින්ම තිබේ.

මේ සියල්ලටම වඩා ගෙවී යන 2018 වසරේදී බංග්ලාදේශය ශීර්ෂපාඨ මැව්වේ, දස දහස් ගණන් රොහින්ග්‍යා මුස්ලිම්වරුන්, අසල්වැසි මියැන්මාරයෙන් බංග්ලාදේශය වෙත පළා ආ බැවිනි. රොහින්ග්යා මුස්ලිම්වරුන් මියැන්මාරය විසින් සලකන්නේ ‘බංගලියන්‘ හෙවත් බංග්ලාදේශ ජාතිකයන් ලෙස ය. මෙම නව සංක්‍රමණික අර්බුදය සමග ගනුදෙනු කළ යුතු වීම, බංග්ලාදේශය අලුතෙන් මුහුණ දී තිබෙන ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ගැටළුවකි.

එමෙස්ම මෙම මැතිවරණය පවත්වන්නේ, තරුණයන් දස දහස් ගණනක් මහා මාර්ගවල ආරක්ෂාව සහ විධිමත් මාර්ග පද්ධතියක් ඉල්ලා සිටිමින් මහ මගට බැස උද්ඝෝෂණය කර මාස කිහිපයකට පසු ය. මෙම උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීම බලධාරීහු පියවර ගත්හ.

මේ වන විට බංග්ලාදේශ තරුණ පරම්පරාව සිටින්නේ රටෙන් දූෂණය තුරන් කළ යුතුය යන මතයේ ය. ඒ අනුව අලුත් ඡන්ද දායකයන්ගේ මතය දිනාගැනීම, දූෂණ චෝදනා මත සිරගතව සිටින බෙගම් ඛලීඩා ෂියා හට මෙන්ම බලයේ සිටින ෂෙයික් හසීනා හට ද පහසු දෙයක් නොවේ. ෂෙයික් හසීනා බලයේ සිටි ගතවූ වසර 10 ක කාලය තුළ ඇය විසින් විසම්මුතිය මර්දනය කිරීම සඳහා බලය පාවිච්චි කිරීම ක්‍රමයෙන් ඉහළ ගිය බව ද විචාරකයෝ කියති.

තරගය කා අතරද?

  • අවාමි ලීගයේ (AL) ප්‍රධානී ෂෙයික් හසීනා

ඇය බංග්ලාදේශය 2009 වසරේ පටන් පාලනය කරන්නීය. තෙවන වරටත් අගමැතිනිය වීම සඳහා සිහින මවයි. ඇගේ පියා, ස්වාධීන බංග්ලාදේශයේ පියා වශයෙන් විරුදාවලි ලත් ෂෙයික් මුජිබුර් රහ්මන් () ය. බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. 1975 වසරේදී ඔහු ඝාතනය කෙරිණි.

  • බංග්ලාදේශ් ජාතික පක්ෂයේ (BNP) ඛලීඩා ෂියා

ෂෙයික් හසීනාගේ ප්‍රබලතම විරුද්ධවාදිනියයි. 90 සහ 2000 දශක තුළ මේ දෙදෙනා අතර බලඅරගලය සුබලව දැකගත හැකි විය. 1991 සිට 1996 දක්වාත් නැවත 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශයේ අගමැතිනිය වූවාය. ‘බෙගම්‘ යනු බංගලි බසින් ‘බලයේ සිටින ආර්යාව/මැඩම්‘ වැනි අර්ථයක් දෙන්නකි. මේ අනුව මේ බෙගම්ලා දෙදෙනා අතර (ඛලීඩා ෂියා සහ ෂෙයික් හසීනා) අතර පැවති බල අරගලය ඒ කාලයේ හඳුන්වනු ලැබුවේ ”Battle of Begums” – බෙගම්ලා දෙදෙනා අතර යුද්ධය‘ යනුවෙනි.

මෙවර ෂෙයික් හසීනාගේ පක්ෂයෙන් සාමාජිකයන් 20 දෙනෙක් පමණ මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති.

  • ජාතික සමගි පෙරමුණ (JOF)

අගමැතිනී ෂෙයික් හසීනාට එරෙහිව සංවිධානය වී සිටින විපක්ෂ සන්ධානය මෙයයි.

බංග්ලාදේශයේ අවසන් මහ මැතිවරණය පැවත්වුයේ 2014 වසරේදී ය. එයට පෙර පැවති සභාග රජය විසින් මැතිවරණ පැවැත්වීම වර්ජනය කිරීමට විරෝධය පෑමක් ලෙස, ඛලීඩා ෂියා, එම භාරකාර රජය යටතේ පැවති මහමැතිවරණයට තරග කිරීම ප්‍රතික්ෂේප කළාය. ඒ අනුව මහමැතිවරණයෙන් ෂෙයික් හසීනා ජයගත් අතර, ඛලීඩා ෂියා, පක්ෂ නායිකාව වශයෙන් කටයුතු කළාය. නමුත් 2014 මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට ඇය ගත් තීරණය බුද්ධිමත් එකක් නොවේ යැයි පසුකාලීනව විචාරකයෝ කියති.එයට හේතුව, බලයට පැමිණි ෂෙයික් හසීනා, ඇයව දූෂණ චෝදනා යටතේ සිරගත කිරීමට මුල් වීමයි. ඇයට මේ වසරේ මහමැතිවරණයට ඉදිරිපත් වීම ද තහනම් කර තිබේ. නමුත් ඇගේ පක්ෂය වන බංග්ලාදේශ ජනතා පක්ෂය BNP විශාල ජන බලයක් නොනැසී පවත්වාගෙන යයි.

කෙසේ නමුත් මෙවර මැතිවරණයට BNP ඉදිරිපත් වන්නේ තනි පක්ෂයක් වශයෙන් නොව සන්ධානයක් වශයෙනි. එම විපක්ෂ සන්ධානයේ නායකත්වය උසුළන්නේ අතීතයේ ෂෙයික් හසීනාගේ ආණ්ඩුවක ඇමතිවරයෙක් සහ හිතෛෂියෙකු ව සිටි නීතීඥ කමාල් හුසේන් විසිනි. එම විපක්ෂ සන්ධානයේ නම ජාතික සමගි පෙරමුණ හෙවත් ‘ජාටිය ඔයික්යා පෙරමුණ‘ (Jatiya Oikya Fron) – JOFනම් වේ. BNP එහි ප්‍රධාන සාමාජිකයෙකි.

නීතීඥ කමාල් හුසේන්, සුළු පටු චරිතයක් නොවේ. බංග්ලාදේශ් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළ පුද්ගලයා ය. නමුත් මේ වන විට ඔහුගේ වයස අවුරුදු 81 කි. එසේම ඔහු ද අපේක්ෂකයෙකු වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ. මේ තත්වය අනුව, යම් හෙයකින් විපක්ෂය ජයගතහොත්, අගමැති තනතුරට පත්වන්නේ කවුද යන්න ගැන තවමත් පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.

ජමාත්-ඉ-ඉස්ලාමි (Jamaat-e-Islami) ඛලීඩා ෂියාගේ බංග්ලාදේශ් ජනතා පක්ෂයට සම්බන්ධිත ඉස්ලාමීය පක්ෂයක් වන අතර, ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා චෝදනා ලබා තිබේ. ඔවුන් මෙවර මැතිවරණට අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ ද නැත.

මහමැතිවරණය සාධාරණ වේවිද?

EPA
600,000 ක ආරක්ෂක භටයන් පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබේ. | EPA

එය එසේ නොවනු ඇතැයි ක්‍රියාකාරීහු, නිරීක්ෂකයෝ සහ විරුද්ධ පක්ෂය එක හෙළා පවසයි.

ඛලීඩා ෂියාගේ BNP පක්ෂය පවසන්නේ මහ මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් ලෙස පැවැත්වුවහොත් ෂෙයික් හසීනාගේ අවාමි ලීගයට ජයගත නොහැකි වනු ඇති බවයි.

මහමැතිවරණයට පෙර පටන්ම ආණ්ඩු පක්ෂය විසින් තර්ජනාත්මක මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගිය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

පසුගිය වසරේ පටන් මේ දක්වා BNP පක්ෂ සාමාජිකයන් හා ක්‍රියාකාරීන් සිය ගණනක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට විරුද්ධව බංග්ලාදේශ පොලිසිය විසින් විවිධ චෝදනා යටතේ නඩු පැවරීම ද සිදුකර තිබේ.

නමුත්, තමන් විපක්ෂය මර්දනය හිතාමතාම කරන්නේ නැතැයි ෂෙයික් හසීනා සුපුරුදු පරිදි කියයි.

මෙවර මැතිවරණ පොරොන්දු

ජයග්‍රහණය ලැබුවහොත් තමන් භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස ස්ථාපිත කරන බව JOF හෙවත් ජාතික සමගි පෙරමුණ කියයි.

ආණ්ඩුවේ වගවීම ද ඔවුන්ගේ සැලකිය යුතු සටන් පාඨයකි.

ඉහළ ධුර සඳහා නව ධුර කාලයන් හඳුන්වා දීම සහ, පාර්ලිමේන්තුව තුළ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් ස්ථාපිත කිරීම ඔවුන්ගේ තවත් පොරොන්දුවකි.

මේ අතර, අගමැතිනී ෂෙයික් හසීනා පවසන්නේ විපක්ෂය විසින් ‘යුධ අපරාධකරුවන්ව‘ ප්‍රමෝට් කරන බවයි.

ඇගේ පක්ෂය මෙවර දී තිබෙන පොරොන්දුව වන්නේ දළ දේශීය නිෂ්පාදිතය 10% ක් දක්වා ඉහළ නංවන බවයි.

එසේම ඉදිරි වසර 5 ඇතුළත නව රැකියා මිලියන 15කට වඩා බිහිකරන බව ද ඇගේ පාලක පක්ෂය පවසයි.

පෙර ලිපිය
මහමැතිවරණයට දින 3 ක් තිබියදී බංග්ලාදේශයේ අන්තර්ජාලය තහනම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි