×

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අවමංගල්‍ය සිදුවන්නේ මෙහෙමයි!

බ්‍රිතාන්‍ය මහ රැජින යම් දිනෙක මිය ගිය පසුව ඇගේ අවමංගල්‍ය කටයුතු සිදුකෙරෙන ආකාරය දැනටමත් සැලසුම් කර ඇති අතර, එය හැඳින්වෙන්නේ ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්‘ (Operation LONDON BRIDGE) යනුවෙනි.


Cabinet Office for Operation LONDON BRIDGE හෙවත් මේ පිළිබඳ ක්‍රියාත්මක වන ආණ්ඩු පාර්ශවය සම්බන්ධයෙන් ද විවිධ කාරණා අනාවරණය වී තිබේ. ඒ අනුව ජ්‍යේෂ්ඨ සිවිල් සේවකයෙකුගෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට “London Bridge is down,” යනුවෙන් දුරකථන ඇමතුමක් මගින් මහරැජිනගේ මරණය සන්නිවේදන කෙරෙනු ඇත.

එක්සත් රාජධානි ආණ්ඩුව විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ රහසක් වශයෙන් තබාගත් මෙය තවදුරටත් රහසක් නම් නොවේ.

2017 වසරේ මුල් වරට ගාඩියන් පුවත්පත මගින් හෙළි කළ මෙම සැලසුම් අතර සමාජ මාධ්‍ය අත්හිටුවීම (රීට්වීට්ස් අත්හිටුවීම ඇතුළත්ව) ද අන්තර්ගත විය. කෙසේ නමුත් දැන් ‘පොලිටිකෝ‘ වෙබ් අඩවිය මගින් මේ සම්බන්ධ සම්පූර්ණ ලිපි ලේඛන ලබාගෙන තිබෙන්නේ මහරැජිනගේ මරණයෙන් පසු උද්ගත වන තත්වය කුමන එකක්දැයි අනාවරණය කරමිනි.

ඇමතිවරුන් සහ ජ්‍යේෂ්ඨ සිවිල් සේවකයන්ට මහරැජිනගේ මරණය දැනුම් දිය යුතු ආකාරය ඇතුළත් විද්‍යුත් ලිපිය ද දැනටම කෙටුම්පත් කර අවසන් ය. එම පණිවුඩය වනු ඇත්තේ,

“Dear colleagues, It is with sadness that I write to inform you of the death of Her Majesty The Queen.”

යන්නයි. මෙම ඊ මේලය ලැබුණු විගස Whitehall හෙවත් වෙස්මිනිස්ටර් නගරයේ වයිට්හෝල් මාවත ආශ්‍රිත කලාපය පුරා කොඩි එසවිය යුතුය. මෙය, ඊ මේල් පණිවුඩය ලැබීමෙන් විනාඩි 10 ක් ඇතුළත සම්පූර්ණ කළ යුතු වේ.

මෙය, දැනට වසර කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පෙරහුරුවක් ද පැවැත්වූ අභ්‍යාසයක් වන අතර, වෙනම ‘ෆ්ලෑග් ඔෆිසර්‘ හෙවත් කොඩි නිලධාරියෙකු පත් කිරීම ගැන ද කතා බහක් ඇති වී තිබේ.

චාල්ස් කුමරු රජ කරවන Operation SPRING TIDE

මෙම ලේඛනවලින් හෙළි වන අන්දමට මහ රැජිනගේ දේහය සාන්ත පැන්ක්‍රැස් හිදී භාරගත යුතු අතර, රාජකීය අවමංගල්‍යයට දින කිහිපයකට පෙර නව චාල්ස් කුමරු, රජු ලෙස කිරුළු පළඳිනු ඇත. චාල්ස් කුමරු ගේ කිරුළු පැළඳීම හැඳින්වීමට යොදාගෙන ඇති කේත නාමය Operation SPRING TIDE ය.

මහරැජිනගේ මරණයේ සිට දින 10 ක් දක්වා අවමංගල්‍ය කටයුතු පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එක් ලේඛනයක දැක්වෙන්නේ අගමැති කාර්යාලය හෙවත් ඩව්නින් ස්ට්‍රීට් හි ධජය අඩකුඹු කළ යුතු ආකාරයයි.

මහරැජිනගේ දෙණ පෙරහැරක් මගින් බකිංහැම් මාළිගයේ සිට වෙස්මිනිස්ටර් මාළිගය දක්වා ගෙන යන අතර, ඉන්පසු එය කැටෆැලෑක් යනුවෙන් හැඳින්වෙන පෙට්ටියක බහා, දින 2 ක් මුළුල්ලේ දිනකට පැය 23 බැගින් මහජන ප්‍රදර්ශනයට තැබෙනු ඇත. අවසන් වරට මහරැජින එසේ බැහැ දැකීම සඳහා VIP අමුත්තන්ට වේලාව බෙදා දීමට ප්‍රවේශපත්‍ර ක්‍රමයක් ද ක්‍රියාත්මක වනු ඇති.

D-Day

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින මරණයට පත් වූ දිනය අන්තර්ජාතික වශයෙන් D-Day ලෙස හැඳින්වෙනු ඇති අතර, ඉන්පසු උදා වෙන දවස් පිළිවෙළින් “D+1,” “D+2” යනාදී ලෙස හැඳන්වෙනු ඇත. “D+9” දිනය හෙවත් දස වැනි දිනයේදී රාජ්‍ය නිල අවමංගල්‍ය උත්සවය පැවැත්වෙනු ඇති. එය ජාතික ශෝක දිනයක් වන නමුත් බැංකු නිවාඩු දිනයක් නොවිය යුතු බවට ද තීරණය කර අවසන් ය. සතියේ දිනකට මෙම දිනය වැටේ නම් සේවකයන්ට සිය අභිමතය අනුව දිනෙක නිවාඩුවක් ගත හැකිය.

මහරැජිනගේ මරණයත් සමග රජ පවුලේ නිල වෙබ් අඩවිය කළු පැහැති බැනරයක එය නිවේදනය කරනු ඇති අතර, රජයේ නිල වෙබ් අඩවි ද සියල්ල මේ ක්‍රමය අනුගමනය කරනු ඇත. අත්‍යාවශ්‍ය පුවත් හැර කිසිවක් ඒ දිනවල පළ නොකරනු ඇත.

කෙසේ නමුත් මේ තොරතුරු බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හෙළිදරව් කිරීමත් සමග, තවමත් නිරෝගී සෞඛ්‍ය තත්වයෙන් පසුවන 95 හැවිරිදි මහ රැජිනට කුමක් සිතෙන්නට ඇත්දැයි සිතාගත නොහැක. සියල්ලටම පසු, ඇය සාමාන්‍ය චරිතයක් නොවේ. එවැනි අය මිය යන්නේ, මැරුණත් පැයක් නොව දවස් 10 ක් වත් සැලසුම් කරමිනි. දේශපාලන බලය යනු එවැනි දෙයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි