×

‘‘උඹලට බැරි නම් අපි වෙනස් වෙන්නම්!‘‘ දේශගුණික අර්බුදය හමුවේ හැඩය වෙනස් කරන සත්තු

‘‘උඹලා අපිට මෙහෙම කරන්න එපා.‘‘ යැයි චිරාත් කාලයක පටන් සොබාදහම මිනිසාගෙන් ආයාචනය කළේය.


ලැව්ගිනි, ගංවතුර, නායයාම් සහ අවසානයේ වසංගත වැනි නා නා ප්‍රකාර මාධ්‍ය මගින් මිනිසාට පණිවුඩ එවමින් සිටියේය. දැන් සොබාදහම අපට මෙසේ කියයි.

‘‘උඹලට බැරි නම් අපි වෙනස් වෙන්නම්!‘

මේ පාඩම අපට කියා දෙමින් සිටින්නේ ද අප වැනිම උණුසුම් රුධිරයැති සතුන් ය. දේශගුණික අර්බුදයට ප්‍රතිචාරයක් වශයෙන් උහු සිය හැඩයන් වෙනස් කර ගනිමින් සිටිති. “shapeshifting” ලෙස එය හැඳින්වේ.

Trends in Ecology & Evolution ජර්නලය වාර්තා කරන පරිදි, උණුසුම් රුධිරයැති සත්තු මේ වන විට සිය හොටවල් විශාල කරගනිමින්ද, දෙපා දිගු කර ගනිමින්ද, දෙකන් විශාල කර ගනිමින් ද සිටිති. ඒ, දේශගුණික අර්බුදය හමුවේ උන් නොනැසී සිටීමට හෙවත් අනුවර්තනය වීමට ගත් තීරණය යි.

සතුන්ගේ ශරීර උෂ්ණත්වය පමණ ඉක්මවා ගිය විට පක්ෂීන් උණුසුම පිට කරන්නේ සිය හොටය හරහා ය. ක්ෂීරපායී සතුන් දේහ උෂ්ණත්වය අඩු කර ගන්නේ සිය දෙකන් හරහා ය. උණුසුම් පරිසරවල වෙසෙන ඇතැම් සතුන් ඓතිහාසිකවම විශාල හොටවල් සහ දෙකන් ඇතිව උපදින්නේ මේ නිසා ය. දේශගුණය උණුසුම් වන විට ශීතල පරිසරවල වෙසෙන සතුන්ට පවා වෙනත් විකල්පයක් නොමැති වෙයි.

එසේ අනුවර්තනය නොකළහොත් උන්ට සිදුවන්නේ අධික උණුසුමෙන් මියැදෙන්නට ය.

පක්ෂීන්ගේ හොට, පිහාටුවලින් ආවරණය වී නැත. පිහාටු යනු තාප ආවරණයකි. ක්ෂීරපායීන්ගේ ද මේ ආකාරයටම කන්, වලිගා සහ දෙපා ආවරණය වන්නේ අඩු ලෝම ප්‍රමාණයකිනි.

මේ දෙපිරිස අතරින් ද වැඩිම වේගයකින් හැඩය වෙනස් කර ගනිමින් සිටින්නේ පක්ෂීන් ය.

මෙම ජර්නලය ලියන, පක්ෂිවේදිනියක වන ඩේකින් සරසවියේ සාරා රයිඩින් මෙසේ ද කියයි. ‘‘හැඩය වෙනස් කර ගැනීම මගින් මේ සතුන් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන බවක්ම කියැවෙන්නේ නැහැ. නමුත් උන් උත්සාහ ගන්නවා.. නොනැසී සිටින්නට වෑයම් කරනවා‘‘.

මේ වෙනස්කම්වල අනාගත බලපෑම් කෙබඳු වේද කියා අදහසක් තවම කිසිවෙකුට නැත. උදාහරණයක් වශයෙන් වඩා විශාල හොටක් සහිත පක්ෂියෙකුගේ දඩයම් රටාව හෝ ආහාර රටාව වෙනස් ද යන්නත්, එයින් ආහාර දාම හා ආහාර ජාලවලට බලපෑමක් වන්නේද යන්නත් අනාගතයේදී සොයාබැලිය යුතු කාරණාවකි.

ප්‍රමාණයෙන් විශාල හොටකට උරුම කම් කියන මුල්ගා ගිරවෙක් (Psephotus varius).
© Provided by The Guardian

ඓතිහාසිකව ද මෙය මෙසේ සිදුවූ බවට සාක්ෂි තිබේ. උදාහරණයක් වශයෙන්, 1871 වසරේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියානු ගිරවාගේ හොටයේ ප්‍රමාණය 4-10%කින් වැඩි වී ඇත. ඒ අනුව සෑම වසරකම වැඩි වෙන ගිම්හාන උණුසුමට ඔරොත්තු දෙන්නට ඔහුට හැකි විය. මේ අතර උතුරු ඇමරිකාවේ කළු ඇස් ඇති ජුන්කෝ නමැති කුඩා ගී කුරුල්ලන් ද ශීත පරිසරයේ කෙටි කාලීන උණුසුම ඉහළ යාම්වලට අනුරූපව සිය හොටයේ ප්‍රමාණය වැඩි කර ගෙන තිබේ.

මීයන්ගේ වලිගයේ සහ පාදවල දිග, වවුලන්ගේ සමෙන් සැදුණු පියාපත්වල ප්‍රමාණය ද උෂ්ණත්වය වැඩි වන විට ඉහළ යනු ඇත.

© Provided by The Guardian The great round-leaf bat’s wings have been shown to be increasing in size. Photograph: Nature Picture Library/Alam

දේශගුණික විපර්යාස/ දේශගුණික අර්බුද/ දේශගුණික හදිසි තත්වයන් මිනිසාට හෝ තාක්ෂණයට ජයගත හැකිද යන්න ගැන තවමත් පවතින්නේ සාකච්ඡාවන් ය. මිනිසා එසේ කයිවාරුවලට වැඩි බරක් දී තිබෙන අතරවාරයේ සත්තු, මිනිසා ඉක්මවා ගොස් අනුවර්තනය තුළින් පරිණාමය වේගවත් කර ගනිති. අවම වශයෙන් අප දැන්වත් සත්තුන්ගෙන් ඉගෙන ගත යුතුය. උන් ශරීරයේ හැඩය වෙනස් කරන විට මිනිසුන් වන අපට සොබාදහම වනසන ‘මිනිස් ක්‍රියාවන්ගේ හැඩය‘වත් වෙනස් කර ගත හැකි නම්….

ප්‍රධාන ඡායාරූපය – © Photograph: William Robinson/Alamy The gang-gang cockatoo is one of the species whose bills have been increasing in size as the climate grows hotter.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි