×

ඇයි නවාස් ෂරීෆ් විතරක්? එහෙම නම් හිරකාරයො ලක්ෂ එකහමාරම වෛද්‍ය ප්‍රතිකාර වලට පිටරට යවන්න! – ඉම්රාන් ඛාන්

නවාස් ෂරීෆ්ට පිටරට ප්‍රතිකාර ලබා දෙනවා නම් සියලුම සිරකරුවන්ටත් ඒ වරප්‍රසාදය ලබාදිය යුතුයි බව ඉම්රාන් ඛාන් අවධාරණයෙන් කියා සිටියේය.


හිටපු පාකිස්ථාන අගමැති නවාෂ් ෂරීෆ් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නේ ය. ඔහු සිටින්නේ සිරගතව ය. එනිසා ඔහුව විදේශ රටකට යවා වෙදකම් කළ යුතු යැයි නවාස්ගේ පක්ෂය වන මුස්ලිම් ලීගයේ අය කියති.

හිටපු නායකයන්ට, සිටිනා නායකයන්ට සහ මේ දෙවර්ගයේ ඥාතීන්ට රෝගාබාධවලදී විදේශ ප්‍රතිකාර ලබාදීම ආසියාතික දේශපාලනයට අරුමයක් නොවේ. සිරමැදිරිවල ගෙවන වාට්ටු තරමටම මේ සංසිද්ධිය ද රටවැසියන්ට හුරු ය.

ඒ සඳහා වියදම් වන්නේ රටවැසියන්ගේ මුදල් ය. ජනතා මුදල් ය. නමුත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ කවුරුන්ද?

වෙන එකක් තබා, ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවන් තමන්ගේ රටේ තිබෙන බවට පම්පෝරි ගසන සෞඛ්‍ය ඇමතිලා පවා පපුවේ අමාරුවක් වැනි දෙයක් හැදුණු විට කෙළින්ම යන්නේ සිංගප්පූරුව වැනි රටවලට ය.

පාකිස්ථානයේ අති ප්‍රබල දේශපාලන උරුමයක් සහිත, පාකිස්ථානයේ එදා මෙදාතුර බිහිවූ ප්‍රබලතම නායකයෙක් ද වන නවාස් ෂරීෆ් වත් දැන් පිටරටක ප්‍රතිකාර සඳහා යැවේවිද?

ඒ ගැන තීරණයක් ගත යුතුව තිබෙන්නේ ඉම්රාන් ඛාන් ය.

ඉම්රාන් ඛාන් හුදෙක් පුහුදුන් දේශපාලකයෙක් නොවේ. ආසියාතික රටවල පඳුරකට ගැසුවත් විසිවෙන ආකාරයේ ප්‍රචණ්ඩත්වය අවුළුවා රටවැසියන් පිනවන නායකයෙක් නොවේ.

ඔහු පාකිස්තාන දේශපාලනය පැහැදිලිවම නව මගකට ගෙන යමින් සිටියි.

නවාස් ෂරීෆ්ගේ විදේශ ප්‍රතිකාර ගැන ඔහු කියන්නේ මෙසේ ය.

‘‘ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටරටකට යවන්නට නීතියක් මේ රටේ නෑ..! අපි ඒ වෙනුවෙන් නීති වෙනස් කළ යුතුද…? එසේ කරනවා නම් ඔහු වැනි අපරාධකරුවන් 150,000 කටත් වෛද්‍ය ප්‍රතිකාර සදහා පිටරට යාමට ඉඩ ලබාදිය යුතුයි! මේක බ්ලැක් මේල් කිරිල්ලක්“

“Should we change the law to allow him [Mr Sharif] to get his medical treatment abroad? Should we allow all 150,000 convicts to get their medical treatment in foreign countries? This is mere blackmailing,” he added.

පාකිස්ථාන සුව සේවය විසින් නවාස් ෂරීෆ් ට ඒ රටේදී ලබාගත හැකි ඉස්තරම්ම සෞඛ්‍ය පහසුකම් සපයමින් සිටියි. ඉම්රාන් ඛාන් මෙසේ ද කියයි.

‘‘නවාස් ෂරීෆ් මේ රටේ තුන් වතාවක් අගමැති වෙලා හිටියා. තමන්ට තිබුණු ෆැක්ටරි ගණන එකේ ඉඳන් 30 දක්වා වැඩි කරගත්තා. නමුත් තමන්ට ප්‍රතිකාර ලබන්න තරම් සුදුසු එකම එක රෝහලක්වත් ඔහු මේ රටේ හදල නෑ. ඒ වෙනුවෙන් පිටරට යන්න හදන්නෙ ඒකනෙ…!“

ඉෂාක් ඩාර් යනු පාකිස්ථානයේ හිටපු මුදල් ඇමතිවරයෙකි. ඔහුට ලන්ඩනයේ ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය වූ විට ඔහු එසේ කළේ තමන්ගේ පුද්ගලික වත්කම් විකිණීම මගිනි. ඒ අනුව ඔහුගේ පියාට බයිසිකල් විකුණන්නට සිදුවිය.

පෙනෙන්නට තිබනේනේ පාකිස්ථානයේ කරළියේ සිටින මුල් පෙළේ අනෙකුත් දේශපාලකයන්ට ද ඉම්රාන් ඛාන්ගේ නව දේශපාලන සංස්කෘතිය නිසා වැඩ වැරදෙමින් තිබෙන බවයි. ඝාතනයට ලක් වූ පාකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝගේ ඇවෑමෙන් අගමැති පදවියට පත් වුණේ ඇගේ සැමියා අලි සර්දාරි ය. මේ දෙපළගේ පුත් තරුණ බිලාවල් භූතෝ මේ වන විට පාකිස්ථාන ජනතා පක්ෂයේ සභාපතිකම උසුළයි. මේ වන විට බිලාවල් ජාතික වගවීමේ බියුරෝව (National Accountability Bureau (NAB)) හමුවට පමුණුවා ඇත්තේ ව්‍යාජ බැංකු ගිණුම් භාවිතා කර හසුවීම නිසා ය.

ඉම්රාන් ඛාන් මේ වන විට ලෝකයේ වැඩිම වේගයකින් දුප්පත් වෙමින් සිටින රාජ්‍ය නායකයා බවට පත්ව ඇති බව මීට පෙර ලිපියකින් අපි පැවසුවෙමු. බනිගාලා හි ඉම්රාන්ට අයත් කන්ද උඩ ගෙදරක් තිබේ. ඔහු මේ ගෙදර වියදම සම්පූර්ණයෙන්ම දරන්නේ තමන්ගේ පුද්ගලික මුදල්වලිනි. ඒ නිවස වටා කටුකම්බි ගැසීමට තමන්ට රුපියල් මිලියන 6 ක් වැය වූ බවත්, තමන්ට ලැබුණු ත්‍යාගයක් විකිණීම මගින් ඔහු ඒ වියදම පියවා ගත් බවත් ඔහු මාධ්‍ය හමුවේ හෙළි කළේ නොබෝදා ය.

පාකිස්ථානය ද ලංකාව සේම පෙර ආණ්ඩු නැටූ පිස්සු නිසා ණය බරින් ආතුර වී ඇති රටකි. මේ වන විට පාකිස්ථානයේ දළ දේශීය ණය ප්‍රමාණ්‍ය රුපියල් බිලියන 30 කි. ‘‘අපි මේ වන විට අවධානය යොමු කරන්නේ අඩුවෙන් ණය ලබාගන්නටයි. ඒ අනුව ණය බර අඩු කරගන්නට ඉදිරියේදී පුළුවන් වේවි.“ යැයි ඉම්රාන් ඛාන් පවසයි.

ඒ අතරම රටේ කළු සල්ලි සංචරණය වැළැක්වීමට, මුදල් විශුද්ධිකරණයට එරෙහි ව දැඩි නීති ගෙන ඒමට ඉම්රාන් ඛාන් විශාල වෙහෙසක් ගනියි. පාකිස්ථානය තුළ විදේශ ආයෝජන අවස්ථා වැඩි කරමින් විදේශ සංචිත වැඩි කර ගැනීමට ඔහු වෙහෙසෙයි.

ඇමරිකාව පවා මේ වන විට පාකිස්ථානයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන පසුවන්නේ පහන් හැඟීමකිනි. ‘‘මුලින් ඇමරිකාව අපෙන් බොහෝ දේ බලාපොරොත්තු වුණා. නමුත් පාකිස්ථානයේ මැදිහත් වීමකින් තොරව ඇෆ්ගනිස්ථානයට සාමයක් උදා කර ගත නොහැකි බව මේ වන විට ඔවුන් පිළිගන්නවා..“ යැයි ඔහු පවසයි.

‘‘ජාතියේ පිනට පහළ වන නායකයන්‘‘ යන්න ලංකාවේ දේශපාලන වේදිකාවල නිතර ඇසෙන පිළුණු වූ යෙදුමකි. ඒ යෙදුම කෙතරම් වර නැගුවත් නිදහසින් 71 වසරක් ඉක්ම ගිය තැනක පවා එවැන්නෙක් පහළ වු බවට තවම සාක්ෂි නැත. එනිසා ජාතියේ පිනට පහළ වූ නායකයෙක් අද දක්වා අපේ රටවල් දැක නැත. එවැනි කෙනෙක් දැක තිබේදැයි කිසිවෙකු ඇසුවහොත් ඔබ ඔහුට ඉම්රාන් ඛාන් ව පෙන්වන්න!

පෙර ලිපි-
ලෝකයේ වේගයෙන්ම දුප්පත් වන රාජ්‍ය නායකයා – ඉම්රාන් ඛාන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි