×

‘වැඩිහිටියන්ට පමණයි’ කියන්නේ වැඩිහිටි අවකාශයක් නෙමෙයි ද? ඇසුවන් තුෂ්ණිම්භූත කළ සිංගප්පූරුවේ OnlyFans නඩු තීන්දුව

සිංගප්පූරුවේ OnlyFans ගිණුම්හිමියකුට එරෙහිව සිරදඬුවමක්..


සිංගප්පූරුව විසින් අමුතුම අන්දමේ නඩු තීන්දුවක් ලබා දී තිබේ. ලොව අති ජනප්‍රිය කාමෝද්දීපන ඇතුළු වැඩිහිටි අන්තර්ගතයන් ඔස්සේ මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියක් වන OnlyFans හි ගිණුම්හිමියකුට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කිරීමට එරට අධිකරණයක් විසින් කටයුතු කර තිබේ.

OnlyFans ගිණුම්හිමියකුට එරෙහිව මෙවන් දඬුවමක් සිංගප්පූරුවේ ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

ටයිටස් ලෝ නැමති සිංගප්පූරු OnlyFans ගිණුම් හිමියාට ඊයේ (12) දින ඇමරිකානු ඩොලර් 2,087 ක දඩයක් ද සති තුනක සිර දඬුමක් ලබා දීමට ද සිංගප්පූරු අධිකරණය නියම කර තිබේ. ඒ OnlyFans ගිණුමක් පවත්වා ගැනීමට එරෙහිව පොලීසිය විසින් ලබා දුන් නොතීසියක් කඩ කිරීමේ චෝදනාව මතයි.

මීට හේතුව වී තිබෙන්නේ ඔහු විසින් OnlyFans අවකාශයේ කාමෝද්දීපන ඡායාරූප සහ වීඩියෝපට පළ කිරීමයි. OnlyFans වෙබ් අඩවිය බිහිවී තිබීමේ අරමුණ ම එවන් අන්තර්ගතයන් ඉදිරිපත් කොට මුදල් ඉපයීම වී තිබෙන පසුබිමක මෙම නඩු තීන්දුව OnlyFans රසිකයන් පමණක් නොව, මුලුමහත් ලොවක් තුෂ්ණිම්භූත කිරීමට සමත්ව තිබේ.

මුදල් ඉපයීමේ අවශ්‍යතාව මත කාමෝද්දීපන, වැඩිහිටි පමණක් නොව විවිධ වැඩසටහන් පවා පැවැත්වීම සඳහා OnlyFans වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන අතර, මෙය නීත්‍යානුකූලව මුදල් ඉපයීමේ වෙබ් අඩවියක් මෙන්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ අවකාශයක් ලෙස ජාත්‍යන්තර මට්ටමින් හඳුනා ගෙන තිබේ.

එපමණක් නොව OnlyFans අවකාශය සඳහා වූ ආචාරධර්ම පද්ධතියක් තිබෙන අතර, මිනිස් ජාවාරම, ළමා අපචාර, ලිංගික ජාවාරම ඇතුළු ජාත්‍යන්තර වශයෙන් නීති විරෝධී ලෙස හඳුනා ගෙන තිබෙන අපරාධවලට අදාළව එම ආචාරධර්ම පද්ධතිය ප්‍රභලව OnlyFans අවකාශය තුළ ක්‍රියාත්මක වේ. OnlyFans වෙබ් අඩවිය වෙත පිවිසිය හැක්කේ ද වැඩිහිටියන් සහ එහි අන්තර්ගතයන් නැරඹීම සඳහා මුදල් වියදම් කිරීමට සූදානම් පුද්ගලයන්ට පමණි.

OnlyFans ගිණුමක් මත සිර දඬුවමක් ලබන සිංගප්පූරුවේ පළමු පුද්ගලයා 22 හැවිරිදි ටයිටස් ලෝ ය | ඡායාරූපය: බීබීසී

මෙම පසුබිම තුළ OnlyFans ගිණුම් හිමියකු අපරාධකරුවකු ලෙස නීතිය මඟින් නිගමනය කිරීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.

එමෙන්ම, සිංගප්පූරුවේ ජීවත් වන OnlyFans ගිණුම් හිමියන් මෙතනින් මතුවට අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමේ අවදානමක් ද මින් මතුව තිබේ. තව ද වැඩිහිටි පුද්ගලයකු ගේ ලිංගික විමුක්තියට එල්ලකරන ප්‍රභල ප්‍රහාරයක් ලෙස මෙය අර්ත නැංවිය හැකි බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

වැඩිහිටියන්ට පමණයි” යනු වැඩිහිටි අවකාශයක් ලෙස සිංගප්පූරුව හඳුනා නොගන්නේ ද යන ගැටළුව ද මෙහිදී මතුවීම පුදුමයක් නොවේ.

සිංගප්පූරු නීතියට අනුව, කාමෝද්දීපන අන්තර්ගතයන් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා හුවමාරු කිරීම, එවන් අන්තර්ගතයන් හුවමාරුවන වේදිකාවලට සහභාගීවීම, හෝ එවන් වේදිකා වලින් ජනිත වන මුදල් වලට හිමිකම් කීම ද නීතිවිරෝධී ය.

මෙම නඩු තීන්දුව පිළිබඳව නීති විශාරදයන් අදහස් දක්වමින් පවසා සිටින්නේ මෙවන් නඩු තීන්දු හරහා OnlyFans ගිණුම් හිමියන් පිළිබඳව අපකීර්තියක් නිර්මාණය කරන බවත්, මෙලෙස OnlyFans ගිණුම් හිමියකුට දඬුවම් පැනවීම ලොව ඉතා විරල අවස්ථාවක් සේ සැලකිය හැකි බවත් ය.

සිංගප්පූරුවේ මෙම නඩු තීන්දුවට අමතරව, මෙවන් OnlyFans ගිණුම්හිමියකුට අදාළව දඬුවම් පැනවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ මියන්මාරයෙන් බවත්, ඒ මියන්මාරයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව පැවති විරෝධතාවල නියැලි පුද්ගලයකු එහි ඡායාරූප OnlyFans හි පළ කිරීම මත බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මියන්මාරයෙන් වාර්තා වූ OnlyFans නඩු තීන්දුව බොහෝ විට දේශපාලනික බලඋවමනාවක් මත සිදුවූවක් බවට විශ්වාස කළ හැකි බව ද එම නීති විශාරදයෝ වැඩිදුරටත් බීබීසී පුවත් සේවය වෙත පවසා සිටියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි