×

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්!

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි තබා නසන අයුරු ඊයේ (15) ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී විකාශයන් ගණනාවක් විසින්ම රස කරමින් ද, තළු මරමින් ද පෙන්නුවේය.


පුදුම වෙන්නට දෙයක් නැත.

මෙයට මාස කිහිපයකට පෙර තරුණයෙකු විසින් සිය පෙම්වතියක ගෙළ මිරිකා මරන අයුරු පටිගත ව තිබූ ජංගම දුරකථන වීඩියෝවක් ද මේ ඇතැම් චැනලයක් විසින් මහා වීර කමක් කරනවා සේ විකාශය කළේය. මාතර රාහුල විද්‍යාලයේ සිසුවාට තවත් සිසුවෙකුගෙන් පිහිපාර එල්ල වන ආකාරය ඇතුළත් CCTV දර්ශන ද ඒ අන්දමින්ම විකාශය කෙරුණේය.

මේ රූපවාහිනී නාලිකාවලට ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය තළු මැරිය හැකි පුවතකි. රේටින්ස් වැඩි කර ගත හැකි අයිටමයකි. දැන් මෙවිට ඒවා නරඹමින් හුදී ජනතාව එක්කෝ අකම්පාල විය යුතුය. නැතිනම් ආතල් ගත යුතුය. සැබවින්ම ඒවා ‘පට්ටයැ, මාරයැ, අන්න කොල්ලො, උන්ට එ්ම තමා කරන්ට ඕනෙ, අපිට වස පොවනවට උන්ට හොඳවැඩේ‘ යැයි ඔවුන්ගෙන් වැඩිහරිය ආතල් ද ගනිති. මෙවැනි රූපරාමු බලා සතුටු වන්නෝ ද මේ දහම් දිවයිනේ නොමදව වෙසෙත්. එදා 2004 වසරේදී සුනාමි සී ඩී බලා මිනිසුන් මුහුදට ගසාගෙන යන අයුරු නැවත නැවත නරඹමින් ආතල් ගත්තේ ද මේ මාදිලියේ ‘ශරීරයන්‘ ය. ඒ ශරීරවලට කියන පොදු නමක් තිබේ. ඒ නම ‘පරපීඩකයා‘ ය.

පැහැදිලිවම මේවා විකාශය කරනවුන්ට මෙන්ම මේවායින් මෙසේ ආතල් ගන්නාවුන්ට ද තැළිය යුත්තේ මඩු වලිගයෙනි. ජනතාව මෙවැනි අන්තර්ගතයන් ප්‍රතික්ෂේප කළ දිනයට පමණක් ඔවුන් ඒවා විකාශය කිරීම ද අත්හරිනු ඇත. එහි ප්‍රතිලෝමය වශයෙන්, ඔවුන් මේවා පෙන්වන්නේ නැතිනම්, ජනතාව මේවා බලන්නේ ද නැත.

දැන් මේ ක්‍රයිස්ට්චර්ච් වීඩියෝව මුදා හැරියේ එහි ප්‍රහාරකයා විසින් ය. වහාම ෆේස්බුක් සමාගම එම වීඩියෝව මුහුණුපොතෙන් බ්ලොක්කර දැමුවේය. ට්විටර් ද එසේ ය. යූ ටියුබ් ද එසේ ය. ෆේස්බුක් විසින් ජාතිවාදය ආගම්වාදය අවුස්සන බවට අම්මා මෝ නැතිව බැණ වැදුණු යුගයක් විය. අවසානයේ සකර්බර්ග්ට තිබෙන ශීලාචාර කමවත්, අපේ රටේ විද්‍යුත් මාධ්‍යයට නැති බව ඊයේ ඔවුන් විසින් ඔප්පු කර තිබේ.

ලංකාවේ හිරුවාහිනී, ස්වර්ණවාහිනී හෝ කොම්බුවාහිනී වැනි රූපවාහිනී චැනල ලෝකයේ ද ඉඳහිට තිබේ. ඒවා රේටින්ස් පසුපස යන චැනලයන් ය. පාලනය කරන්නේ කෝටිපති ධන කුවේර මාධ්‍ය හිමිකාරිත්වයන් විසිනි. ඔස්ට්‍රේලියාවේ ස්කයි නිව්ස් ශාඛාව (Sky News Australia) ද එසේ කළේය. ඔවුන් මෙම රූපමාලාව නැවත නැවතත් විකාශය කර තිබිණි. එසේම ස්කයි නිව්ස් ඔස්ට්‍රේලියා විසින් ක්වන්ටාස් ගුවන් සේවයේ ලෝන්ජ් වල ද විකාශය කර තිබිණි. නමුත් ලොකු වෙනසක් තිබේ. හිංසාව, ප්‍රචණ්ඩත්වය, ස්නායු කම්පනය කරන රූපරාමු විකාශය කළ ලංකාවේ රූපවාහිනී චැනලවල මඩිය ඊයේ රාත්‍රියේ යහමින් තද වුවද, ස්කයි නිව්ස් ඔස්ට්‍රේලියා චැනලයට මේ නිසා වැඩ වැරදුණේය. වහාම ක්‍රියාත්මක වූ ස්කයි නිව්සීලන්ඩ්, සිය ඔස්ට්‍රේලියානු ශාඛාව පැය 24 ක කාලයක් සඳහා ‘ඕෆ් එයා‘ කළේය. එනම් විකාශය අත්හිටුවීය.

රූපට් මර්ඩොක් නමැති සදාචාරයක් නැති කෝටිපති මාධ්‍ය කුවේර හිමිකරුව නවසීලන්තය විසින් දණ ගැස්වූයේ එසේ ය. එසේ දණ ගැස්වීමේදී නවසීලන්ත පොලිසිය විසින් එම රූපරාමු ප්‍රචාරය නොකරන ලෙස කළ ඉල්ලීම නොසලකා හරිමින් ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරකයා ජීවිත 49 ක් වෙඩි තබා බිම හෙළන අයුරු දැක්වෙන වීඩියෝව ප්‍රචාරය කිරීම නමැති චෝදනාව සාර්ථක අයුරින් ඉදිරිපත් කෙරිණි.

එ් නිසා ලංකාවේ ප්‍රේක්ෂක ජනතාව ද මේ චැනල වර්ජනය කිරීමට ඇති අයිතිය මේ මොහොතේ පාවිච්චි කළ යුතුය. විකාශන සංඛ්‍යාත තරංග යනු පොදු දේපළකි. ඒවා මහජනයාගේ වත්කම් මිස කෝටිපතියන්ගේ පරපීඩක ආශාවන් හෝ රූපවාහිනී ප්‍රවෘත්ති නිෂ්පාදකයන්ගේ පෞද්ගලික ආතල්වලට පාවිච්චි විය යුතු ඒවා නොවේ. ඉතා කෙටියෙන් කියන්නේ නම්, රූපවාහිනී විකාශන බලපත්‍ර ඔවුන්ට ප්‍රදානය කර තිබෙන්නේ මෙවැනි පරපීඩක ආශාවන් සපුරා ගැනීමට නොවේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයට අවම සදාචාරයක්වත් නැති බව ඔවුන් විසින් නැවත වරක් සනාථ කර තිබේ. මේ උදා වී තිබෙන්නේ පෙන්වන ඕනෑම කුණු ජරාවක් නැරඹිය යුතු ඉරණමේ සිරකරුවන් බවට පත්ව සිටින ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා විසින් මාධ්‍ය සංගායනාවක් ඉල්ලා සිටිය යුතු යුගයකි. නවසීලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැති බව අප වටහාගත යුතු නිසා සැබෑ මාධ්‍ය නිදහස කුමක් වැනිදැයි අලුතෙන් කතිකාවක් සමාජය තුළ ඇති විය යුතුව තිබේ.

මෙවැනි අවස්ථාවක මාධ්‍ය විසින් තෝරාගත යුත්තේ ඊනියා මාධ්‍ය නිදහස ද? නැතිනම් සදාචාරයද? ස්වයං නියාමනය මත නොපිහිටා වල්බූරු නිදහසක් භුක්ති විඳීම ම, මාධ්‍ය මර්දනය සඳහා රජයට කරන ඇරයුමක් බව ඔවුන් නොදනීද? මේ න්‍යාය පත්‍රය කුමක්ද?

  • ක්‍රිෂාන්ති රාජපක්ෂ


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි