×

නත්තල් නිවාඩු රැළියකට උමතු රථයක් කඩා වැදෙයි!

ඇමරිකාවේ විස්කොන්සින් ජනපදයේ ජන රැළියක් වෙත කඩා වැදුණු වාහනයක්, පුද්ගලයන් කිහිප දෙනෙකුට මරු කැඳවමින් 20 දෙනෙකුට පමණ තුවාල සිදු කර තිබේ.


මෙය නත්තල් නිවාඩුව වෙනුවෙන් පැවැත්වූ ජන එකතුවක් වූ අතර, තුවාළ ලැබූ අය අතර, ගායනා කණ්ඩායමක කුඩා දරුවෝ ද සිටිති. තුවාළ ලැබූ පිරිසෙන් වැඩි දෙනෙකු එනම් 12 දෙනෙකු දරුවන් ය.

රතුපාට SUV රථයක් අධික වේගයෙන් ජනකාය මැදින් ධාවන වන ආකාරය, මේ වනවිට වයිරල් වෙමින් තිබෙන වීඩියෝවල දැක්වේ. එය කෙළින්ම මාර්ග බාධක නොතකා ජනතාව වෙත ධාවනය වෙමින් පැවති අන්දම ද ඒවායේ දැක්වේ.

පොලිස් වෙඩි තැබීම්වලින් කිසිවෙකුට තුවාළ සිදුවූයේ නැත.

සැකකාර වාහනය මාර්ග බාධකවල හැපී නතර වූ අතර, එහි රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

‘‘නත්තල් රැළියේ ගිය අයගේ අත තිබූ දේවල්, උණු චොක්ලට් පානයන් පාර පුරා විසිරී තිබුණා. මම බිම වැතිරී තිබූ සිරුරු අතරින් මගේ දියණියගේ සිරුර හෙව්වා..‘‘ යැයි රැළියට සහභාගි වූ එක් දරුවෙකුගේ පියෙකු සඳහන් කරයි.

වාර්ගික අසහනය උත්සන්න වේවිද?

විස්කොන්සින් පොලිසිය මේ වන විට විමර්ශන පවත්වමින් සිටින අතර, FBI ද එයට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

මේ අතර, ධවල මන්දිරය පවසන්නේ තමන් විස්කොන්සින් ජනපදයේ තත්වය සමීප ලෙස නිරීක්ෂණය කරමින් සිටින බවයි. විස්කොන්සින් ජනපදයේ බහුතර ජනගහනය එනම් 85%ක් පමණ සුදු ජාතිකයන් වන අතර, කළු ජාතිකයෝ 6.41%ක් වෙති. එය වර්ගවාදී පසුබිමක් සහිත ජනපදයකි.

පසුගිය වසරේ හටගත් වාර්ගික විරෝධතාවලදී රයිෆයලකින් කළු ජාතිකයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ කයිල් රිට්න්බර්ග් පසුගියදා ජූරිය විසින් නිදොස් කිරීමත් සමග ජනපදයේ නොසන්සුන් බවක් නැවත ඇති වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි