×

මේ, ලංකාවට රැමපෝසා කෙනෙක් අවශ්‍ය කාලයයි.

දකුණු අප්‍රිකාවේ සූමා, පූමා සතෙක් සේ ජවසම්පන්න ලෙස රට ආගාධයට ඇදගෙන ගියේය. දැන් එහි නව ජනපති සිරිල් රැමපෝසා ය. ඇත්තටම ඔහු ‘අප්ඩේටඩ් බිස්නස්මන්‘ කෙනෙකි!


දකුණු අප්‍රිකාවට ගෙවී යමින් තිබුණේ ඉතා දිගු ඉරිදා සන්ධ්‍යාවකි. ‘වෙනස‘ යන්න දකුණු අප්‍රිකානු දේශපාලන වේදිකාවේ ද අතොරක් නැතිව තලු මැරූ වචනයක් විය. නමුත් ඒ වෙනස ගෙන එන්නේ කවුද? බලයට පැමිණිය යුත්තේ කවුරුන්ද? 2014-2018 අතර කාලයේ සූමා යටතේ උප ජනාධිපතිවරයා ව සිටියේ ද රැමපෝසාම ය. ඔහු සූමා ව හොඳින් දනියි.

සූමාගේ පාලනය විසින් රටට අහිමි කළ වත්කම ඇ.ඩො. බිලියන 83 ක් බවට ගණන් බලා තිබේ. ඔහු ජනපති බවට පත් වන විටත් දූෂණ චෝදනා 700 ක් ඔහුට එරෙහිව නැගී තිබිණි. පැනමා පත්‍රිකාවල ඔහුගේ නම ඉහළින්ම ලියැවී තිබිණි. ඔහු අමු අමුවේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඒකමතිකව තීරණය කර තිබුණත් ඔහු නොගියේය. අවසානයේ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූයේ මහජන මුදලින් ඇ.ඩො. මිලියන 500 ක් වියදම් කර තමන්ගේ පුද්ගලික දේපළක් සංවර්ධනය කර ගත් බව අධිකරණයේදී හෙළිදරව් වූ නිසා ය.

66 හැවිරිදි තරුණයා

මේ සියලු තත්වයන් තුළ 2019 මහ මැතිවරණය අප්‍රිකානු ජාතික කොංග්‍රසයට අසීරු පරීක්ෂණයක් බවට පත් ව තිබුණේය. නමුත් අප්‍රිකානු ජාතික කොංග්‍රසය 58%ක ජන මතයකින් ජය ගත් අතර, එරට ජාතික සභාව 2019 මැයි 22 වැනිදා සිය ජනාධිපතිවරයා ලෙස රැමපෝසා ව නම් කළේය. අවසානයේ දකුණු අප්‍රිකාවේ 5 වැනි ජනාධිපතිවරයා ලෙස ‘මටමෙලා සිරිල් රැමෆෝසා‘ නමැති ‘66 හැවිරිදි තරුණයා‘ මද සිනා පාමින් සිටියේය. දකුණු අප්‍රිකාවට ‘නව අරුණෝදයක්‘ ගෙන එන බවට ඔහු සපථ කර සිටියේය.

2017 දෙසැම්බරයේ පටන් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) නිල බලයෙන් පත්වූ සභාපතිවරයා වන්නේ ද රැමෆෝසා ය. රැමෆෝසා ANC හි නායකත්වයට පත්වීම පවා ජාත්‍යන්තරයේ ශීර්ෂපාඨ මැව්වේය. පෙර කී ‘වෙනස‘ නුදුරේම ඇති බවට එය නිසැක සලකුණක් විය. මුළු ලෝකයම රැමපෝසා දෙස එසේ බලා සිටියේ ඇයි..? සැබවින්ම ඔහු කවුද..?

කල් බලන්නා

රැමපෝසා අතිදක්ෂ උපායශීලියෙකි. දකුණු අප්‍රිකාවේ අනාගතය සැලසුම් කරන ‘ක්‍රමෝපායික සැලසුම් කොමිසම‘ නමැති දීර්ඝකාලීන සැලසුම් සකස් කරන ව්‍යූහයේ හිටපු සභාපතිවරයා ඔහු ය. එසේම දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදය කරා ගිය සංක්‍රමණික යුගයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රධාන සාකච්ඡාකරුවා – Chief Negotiator ද ඔහුම විය. ඒ සම්බන්ධයෙන් ඔහුට ඇති නිසග දස්කම ලෝක ප්‍රසිද්ධ ය. රැම්පෝසා නමැති තරුණ කම්කරු ක්‍රියාකාරියා, දකුණු අප්‍රිකාව ලේ වැගිරීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන ගිය, එනයින් සංක්‍රාන්තික යුක්තිය ගැන ලොව පුරා අදටද කතා බස් කෙරෙන ‘දකුණු අප්‍රිකානු මොඩලයේ‘ නිර්මාතෘ වූ නෙල්සන් මැන්ඩෙලාගේ පරම අබිසෙස් ලැබූ ගෝලයා විය. නමුත් දකුණු අප්‍රිකාව තවදුරටත් විඳවිය යුතුව තිබූ නිසාදෝ, මැන්ඩෙලා පැතූ පරිදි රැමපෝසා ඔහුගේ ජීවිත කාලය තුළ දකුණු අප්‍රිකාවේ නායකයා බවට පත් නොවීය. වාසනාවේ බමරය කැරකුණේ මකෙබි වෙත ය. 1999 වසරේදී මැන්ඩෙලා විශ්‍රාම ගත් විට අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඔහු ව කොන් කර දැමුවේය. එවිට රැමපෝසා, සිය මුළු ශ්‍රමය සහ අවධානය ව්‍යාපාරික කටයුතු කෙරෙහි යොදවා තමන්ගේම ව්‍යාපාරික අධිරාජ්‍යයක් තනාගෙන රටේ ලොකුම කෝටිපතියෙකු බවට පත් විය.

The Guardian
The Guardian
Hosta
සිරිල් රැමපෝස, නෙල්සන් මැන්ඩෙලා සමග| Hosta

ඒ අතරම ඔහු පතල් කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (National Union of Mineworkers (NUM)) නමින් වෘත්තීය සමිතියක් සාදා ගත්තේය. අදට ද දකුණු අප්‍රිකාවේ තිබෙන ලොකුම වෘත්තීය සමිතියේ නිර්මාතෘ ඔහු ය. 1980 දශකයේ සක්‍රිය වෘත්තීය සමිති නායකයෙකු ව සිටියදී ඔහු මෙසේ කීවේය. ‘‘මේ රටට අවශ්‍ය වන්නේ මේ බෙදුණු රට සමගි කළ හැකි නායකයෙක් මිස අන් අයෙක් නොවේ..‘‘ දැන්, ප්‍රශ්නයකි. රැමපෝසා සැබවින්ම පීඩිතයන්ගේ මිනිසෙක්ද? නැතිනම් නිර්දය හාම්පුතෙක්ද?

ඔහු කවදත් රටේ ලොකුම ව්‍යාපාරිකයන් 5 දෙනා අතරේ සිටියේය. මෙයට වසර 7කට පෙර දේශපාලනයට නැවත පිවිසෙන විට ද ඔහු ව්‍යාපාරික අධිරාජ්‍යෙයකි. 2018 වසරේදී ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 550 කට අධික විය. දකුණු අප්‍රිකාවේ මැක් ඩොනල්ඩ්ස් දාමයේ (McDonald’s South Africa) හිමිකරු ද ඔහු ය. 2011 වසරේදී අත්සන් කෙරුණු මෙම ගිවිසුම වසර 20 ක් සඳහා ය. කේප්ටවුන් හි මහල් නිවාස 2 ක්ද, ජොහැනස්බර්ග් නගරයේ දේපළ 30 ක් ද පමණ ඔහුට හිමි ය. ඔහුට අයත් තවත් සමාගම් ගණනාවකි. Shanduka Group සමූහ ව්‍යාපාරය ඒ අතරින් ප්‍රධාන ය. ඇත්ත.. ඔහු ‘කොම්පැනිකාරයෙකි‘. නමුත් ඔහු ඒ ‘කොම්පැනි‘ සියල්ලම එහි සේවකයන් ද සමග ගොඩ ගත්තේය. කිසිදිනෙක නීති විරෝධී අන්දමින් ව්‍යාපාරික කටයුතුවල යෙදුණු බවටද ඔහුට විරුද්ධව චෝදනා සනාථ වී නැත. ධනපතියෙකු පීඩිත පන්තියේ ජනතාවගේ ද වීරයෙක් වීම ගැන දුලබ නිදසුනකි, ඔහු.

මොඩ් ගොවියා

රැමපෝසා ‘නූතන ගොවියෙකි‘. ඔහු 2004 වසරේදී උගන්ඩාවේ සංචාරයක නියැළුණේය. එහිදී අති විශාල අං ඇති, අති විශාල වටිනාකමකින් ද යුත්, අප්‍රිකාවේ ඇතැම් ගෝත්‍රයන් විසින් ශුද්ධ වූ සත්වයෙකු ලෙස සලකන ‘ඇන්කෝල්‘ ගවයන් දකුණු අප්‍රිකාවට හඳුන්වා දීමට ඔහුට ආශාවක් උපන්නේය. උගන්ඩාවේ රෝග පාලන ප්‍රමිතිය පහළ මට්ටමක තිබූ හෙයින් දකුණු අප්‍රිකානු රජය ඔහුගේ මෙම අදහසට ඉඩ දුන්නේ නැත. එවිට රැමපෝසා කළේ උගන්ඩා ජනපති යොවෙරි මුසෙවානිගෙන් ඇන්කෝල් එළදෙනුන් 43 දෙනෙකු මිලට ගැනීමයි. ඉන්පසු උන්ව කෙන්යාවට නැව්ගත කළේය. කෙන්යාවේදී මෙම එළදෙනුන් කෘතිම සිංචනයට ලක් කර, කළල ඉවත් කර උන්ව දකුණු අප්‍රිකාවට නැව් ගත කළේය. දකුණු අප්‍රිකාවට කෙන්යාවේ ගව රෝග පාලනය ගැන විරෝධයක් පාන්නට හේතුවක් තිබුණේ නැත. මාස 2ක් තිස්සේ මේ එළදෙනුන් දකුණු අප්‍රිකාවේදී නිරෝධායනයට ලක් කෙරිණි. අවසානයේ 2017 වසර වන විට රැමපෝසාගේ මපුමලංගා ගොවිපොළේ ඇන්කෝල් ගව දෙනුන් 100 දෙනෙක් සිටියේය! ඔහු ඒ අං කාරයන් අතර සිනාමුසු මුහුණින් සිටගෙන සිටින ඡායාරූප ගණනාවක් ජාත්‍යන්තර මාධ්‍යවල පළ විය. මෙයින් නොනැවතුණු රැමපෝසා මේ වික්‍රමය ගැන ‘‘Cattle of the Ages, Stories, and Portraits of the Ankole Cattle of Southern Africa‘‘ නමින් ලියැවුණු පොතක සම කර්තෘවරයා බවට ද පත්විය. රැමපෝසා එබඳු පුතෙකි!

අභියෝගය

රැමපෝසා විසින් භාරගෙන තිබෙන්නේ ජරපත් – අන්ධකාර දේශයකි. එදා නෙල්සන් මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය රට බාරගෙන දැන් 25 වසරක් ගෙවී ගොස් තිබේ. ජනයා දැන් මෙසේ අසති. ‘‘කෝ අර කිව්ව වෙනස..? සුරංගනා කතාවක් වගේ මතකයක් විතරක් අපිට ඉතිරි වුණා..‘‘

එදා 1994 දී සුද්දන් ඉතිරි කර ගියේ බංකොළොත් වීමට ආසන්නව තිබූ දකුණු අප්‍රිකානු ආර්ථිකයකි. ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව දකුණු අප්‍රිකාව, ලෝකයේ අදායම සහ සම්පත් විෂමතාවය අධිකතම දේශයකි. ඒ අනුව අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ රැමපෝසා මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ දකුණු අප්‍රිකාවේ ධනය සහ ඉඩම්, බෙදා දීම යැයි ගාඩියන් පුවත්පත පවසයි. නමුත් එය සරල නැත. රැමපෝසා මුලින්ම සිය පක්ෂය තුළ සිටින සතුරන් බිම හෙළිය යුතුය. එහි තවත් පොඩි පොඩි සූමලා සිටිති. හිරේ යා යුතු වැරදි කළ ද ඔවුන් හිරේ යන්නට කැමති නැත.

සූමාගේ පාලනය යටතේ දකුණු අප්‍රිකාවේ පරිහානිය ඉක්මන් විය. අද වන විට රටේ ආර්ථික වර්ධනය අවමයකි. උද්ධමනය උපරිමයකි. විරැකියා ප්‍රතිශතය නිල වශයෙන් 25%කට අධික ය. ප්‍රචණ්ඩකාරී අපරාධවලින් දකුණු අප්‍රිකානු සිවිල් සමාජය බිය ගැන්වී තිබේ. රට පුරා නිතර සිදුවන විදුලිය විසන්ධි කිරීම් නිසා ව්‍යාපාරවලට දැඩි පාඩු සිදු වෙයි. විදේශීය ආයෝජකයෝ පැමිණෙනවාට වැඩි වේගයෙන් ආපසු යති.

යුද්ධයක් නැති රටවල් අතරින්, ගතවූ අවුරුදු 12 ක කාලය තුළ සමාජයීය, අර්ථිකමය සහ ආණ්ඩුකරණය අතින් ලෝකයේ පිරිහුණුම දේශය බවට පත්ව තිබෙන්නේ දකුණු අප්‍රිකාව බව මේ වන විට හෙළි වී තිබේ.

යුද්ධයක් නැති නමුත් ‘සාමයේ වරදවා හැසිරෙමින්‘ ප්‍රචණ්ඩත්වයෙන් පණ අදින රටක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ ජනාධිපතිවරයෙකු විසින් අපහරණයට ලක් කළ බිඳුණු දේශයක් සහ ආර්ථිකය සහමුලින්ම පාහේ බිඳ වැටුණු රටක් ගොඩගැනීම දැන් ඔහුට බාර ය. ඒ ගතිලක්ෂණ අනුව ලංකාව ද තවත් දකුණු අප්‍රිකාවක් හෝ එහි විලෝමය වන දකුණු අප්‍රිකාව ද තවත් ලංකාවක් යැයි යමෙකුට කියන්නට පුළුවන. මහා ව්‍යාපාරික අධිරාජ්‍යයක් හිමි කෝටිපතියා දැන් දේශපාලනයට පැමිණ තිබේ. ඔහුට කොහොමත් ධනය තිබේ. දැන් බලය ද තිබේ. කළ යුතුව තිබෙන්නේ කුණාටු මැදින් නෞකාව පැද යාම පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි