×

හිටපු දකුණු අප්‍රිකානු ජනපති සූමා හිරබත් කෑමේ සූදානමෙන් පොලිසියට බාර වෙයි

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජේකබ් සූමා ඊයේ පොලිසියට පැමිණ භාර වී තිබේ.


ඔහු, අධිකරණයට අපහාස කිරීමේ නඩුවකින් වරදකරු බවට පත් ව සිටින අතර, නීතිය මගහරිමින් සිටියේය.

ඔහු අධිකරණයට අපහාස කළ චෝදනාවට ගොදුරු වූයේ, 2018 දක්වා ධුරයේ සිටි වසර 9 ක කාලය තුළ සිදුකළ බව කියන දූෂණ චෝදනා සම්බන්ධ පරීක්ෂණයකට සාක්ෂි ලබාදීමට ඔහු අධිකරණයට නොපැමිණි නිසා ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් ඔහුට නියම කළ මාස 15 ක සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා, ඔහු භාර නොවන්නේ නම් ඊයේ මධ්‍යම රාත්‍රී 12 වන විට ඔහුව අත්අඩංගුවට ගත යුතු බවට අවසානයේ නියෝග කර තිබිණි.

ඒ අනුව අවසන් මොහොතේ පැමිණ සූමා භාර වී තිබේ.

මෙම සිර දඬුවම ඔහුට ගත කිරීමට නියම වී තිබෙන්නේ ඔහුගේම උපන් ගම් පළාත වූ ක්වාසුලු-නටාල් හි විශෝධන මධ්‍යස්ථානයක ය.

හිටපු දකුණු අප්‍රිකානු ජනපතිවරයා 79 හැවිරිදි ය.

ජේකබ් සූමා වර්ණභේදවාදය මුලිනුපුටා දැමූ නෙල්සන් මැන්ඩෙලා සමග රොබින් දූපතේ එකට සිර දඬුවම් විඳි කෙනෙකි.

සූමාගේ දියණිය ඩුඩු සූමා ට්විටර් පණිවුඩයකින් කියා සිටින්නේ ‘‘රොබින් දූපතේදී තිබූ ධෛර්යයෙන් ටිකක් තවමත් තමන් ළඟ ඉතිරි වී ඇති බව‘‘ පොලිසියට භාර වීමට පෙර පියා පැවසූ බව ය.

Photograph: Shiraaz Mohamed/AP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි