×

දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

යූන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන්නේ කවදාද යන්න පැහැදිලි නැත.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් 3 වන දින සිය ජනාධිපති බලතල අනිසි ලෙස භාවිතා කරමින් රට තුළ යුධ නිතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ධුරයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් උතුරු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ධුරයෙන් පහ කිරීම වෙනුවෙන් විපක්ෂය විසින් ගෙන එන ලද දෝෂාභියෝගයක් සම්මත වීමෙන් අනතුරුව දෙසැම්බර් 14 වන දින ඔහුගේ සේවය අත්හිටුවනු ලැබිය.

ජනාධිපති යූන් සුක්-යෙයෝල් ජනාධිපතිව සිටියදී බොහෝ අපරාධ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය නොහැකි වුවද, කැරැල්ල හෝ රාජද්‍රෝහී නඩු වලදී ඔහුට මුක්තියක් නොමැත. ඒ අනුව විමර්ශන සනාථ වන්නේ නම් ජනාධිපතිවරයා ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ මරණ දණ්ඩනයට පවා මුහුණ දිය හැක.

ඒ අනුව, මෙම කටයුතු විමර්ශනය කරන ඒකාබද්ධ විමර්ශන මූලස්ථානයේ ඉල්ලීමකට අනුව සෝල් බටහිර දිස්ත්‍රික් අධිකරණය අද(31) මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති අතර යූන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ කවදාද යන්න පැහැදිලි නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි