×

ඉදිරි මාස 3 ඇතුළත මරණ දණ්ඩනය ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව විසින් එල්ලා මැරීම හෙවත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නතර කර වසර 43 ක් ගත වී ඇති අතර, එම පරිච්ඡේදය නිමා කරමින් ඉදිරි මාස කිහිපය ඇතුළත නැවත වරක් එල්ලා මැරීම ක්‍රියාත්මක වීම ආරම්භ වීමට නියමිත ය.


ඉදිරි මාස 3 ඇතුළත මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව මේ වන විට ජනාධිපතිවරයා විසින් නිවේදනය කර තිබේ.

මෙය, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පසුගිය දිනවල යෙදුණු පිලිපීන සංචාරයේදී පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි හමුවීමෙන් පසු ගත් තීරණයකි.

එහිදී ඔහු විසින් පිලිපීනයේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඩුටර්ටි විසින් සිදුකළ මෙහෙයුම්වලට ප්‍රශංසා කර තිබිණි. ඔහු එය විස්තර කර තිබුණේ ‘ලෝකයට ආදර්ශයක්‘ ලෙස ය.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී කතා කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රථම වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සිදුකරන කාලරාමුව පිළිබඳ සඳහන් කළේය. එහිදී ඔහු පැවසුවේ ‘‘මේ රට නීතිය ගරු කරන, ධාර්මික රටක් වීම සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. මරිජුවානා, කොකේන්, හෙරොයින් සහ අයිස් ඇතුළු විවිධාකාර මත්ද්‍රව්‍ය මේ රටේ දෙගුණ තෙගුණ වෙලා. ඉදිරි මාස දෙක තුන ඇතුළත මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා“ යනුවෙනි.

මෙහිදී ගාඩියන් පුවත්පත විසින් සිරිසේන ජනාධිපතිවරයාව හඳුන්වා දී තිබෙන්නේ 2020 ජනපති සටනේ ‘‘ජනතාවට අප්‍රිය වූ ජනපතිවරයෙක්‘ (an unpopular president) ලෙස ය. තමන් මාස ගණනක් මුළුල්ලේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අවසානාත්මක වශයෙන් වෙහෙස වුවද, සිය රාජ්‍ය තන්ත්‍රය තුළින්ම එල්ල වූ ප්‍රමාදයන් ට මුහුණ දුන් බව ත්, මරණ දණ්ඩනය ලැබීමේ අවදානමේ පසුවන සිරකරුවන් අභියාචනයන් ගොනු කරමින් සිටින බවත් එහිදී ජනාධිපතිවරයා පැවසුවේය.

මේ වන විට මත්ද්‍රව්‍ය වැරදි සඳහා එල්ලා මැරීමට නියම වූ සිරකරුවන් 20 දෙනෙක් සිටින බව පැවසේ.

එයින් 8 දෙනෙකුගේ නඩු, අභියාචන යටතේ නැවත ඇසීමට නියමිත ය.

2018 දෙසැම්බරය වන විට මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 1299 ක් වූ අතර, එයින් 84 දෙනෙක් කාන්තාවෝ වෙති.

ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නවතා දැමුවේ 1976 වසරේ පටන් ය. එතැන් පටන් මරණ දණ්ඩනය නියම වූ අපරාධකරුවන්ට ජනාධිපතිවරයා එම නියෝගය සඳහා අත්සන නොයෙදීම මත ඔවුන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්වලට යටත් කෙරෙමින් පැවතිණි.

‘‘මරණ දණ්ඩනයට එරෙහි නොවන ලෙස මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා සිටිනවා. මත් උවදුර මැඬලීම සහ පාතාලය මර්දනය සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි‘‘ යනුවෙන් ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය නොවැම්බරයේ පටන් ජනාධිපතිවරයාගේ පාලනය යටතට ගෙන තිබෙන, දමිල ඊලාම් යුද්ධයේදී එල්ටීටීඊ මර්දනය භාර වී සිටි පොලිස් විශේෂ කාර්ය බලකාය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හසුකරගැනීම සඳහා මේ වන විට යොදවා තිබේ.

පසුගිය සතියේ මත්ජාවාරම් කරුවන් ගණනාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට තමන් සමත් වූ බව පොලිසිය පවසයි. මේ සතියේ මුල ඩුබායි රාජ්‍යයේදී පාතාල නායක මධූෂ් ද අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු ලංකාවේ ප්‍රධාන පෙළේ මත් ජාවාරම්කරුවෙකු බව සැලකේ.

මුලාශ්‍රය : Sri Lanka to begin hangings within months, ending 43-year stay on executions – ද ගාඩියන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි