BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ශ්‍රී ලංකාවේ උභතෝකෝටිකය: ආහාර ද්‍රව්‍යද, විදුලිය සඳහා ඉන්ධන ද? – ජාත්‍යන්තර මාධ්‍ය ඇසින්

ආහාර ද? ඉන්ධන ද? මේ රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටින අලුත්ම උභතෝකෝටිකයයි.

මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙකෙහිම උග්‍ර හිඟයක් වෙත දිවයින ක්‍රමයෙන් ගමන් කරමින් සිටියි.

මාස කිහිපයක් මුළුල්ලේ සුපිරි වෙළඳසැල් විසින් කිරි පිටි නිකුත් කරන්නේ සලාක ක්‍රමයකට ය. එළවළුවල පවා හිඟතාවයක් පවතියි.

බලධාරීන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන රැගත් බහාලුම් ලබාගැනීමට බලා සිටින නමුත්, ඒවා ලබාගැනීමට ආණ්ඩුවට මුදල් නොමැති බව පෙනේ.

ශ්‍රී ලංකාව මූලික වශයෙන් දැන් අවධානය යොමු කරන්නේ රට අඳුරේ නොහෙළීම සඳහා ණයට ඉන්ධන ලබාගැනීම සඳහා ය.

ඉන්දියාව ඔවුන්ගේ එක් විකල්පයකි.

මේ වන විට ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 900 ක ණය මුදලක් ලබාදීමට එකඟ විය. ඩොලර් බිලියන 1.5 ක බේල්-අවුට් පැකේජයකට සමාන ආධාර ද ලබාදෙන බව ඉන්දියාව කියා තිබේ. එම ඩොලර් බිලියන 1.5 ලබාදෙන බව කියා තිබෙන්නේ අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ මිලදී ගැනීම සඳහා ය.

මේ අතර පසුගිය සතියේ ඉන්දියාව තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලංකාවට ලබාදුන්නේය.

මෙම මුදල්, ශ්‍රී ලංකාව විසින්‌ යොදවන බව කියා තිබුණේ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලට ගැනීම සඳහා ය.

නමුත් එය එසේ සිදුවුණේ නැත.

ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ලංකා IOC හෙවත් ලංකා තෙල් සංස්ථාව වෙත යොමු ව සිටියි. ඒ, furnance oil හෙවත් දැවි තෙල් මිලදී ගැනීම/ ණයට ගැනීම සඳහා ය. ලංකාවේ එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැවි තෙල් තොග වේගයෙන් නිම වෙමින් පවතියි.

නමුත් සඳුදා දහවල් වන විට තෙල් සංස්ථාවට එම ඉල්ලීම ඉවත දැමීමට සිදුවූයේ ලංකා විදුලි බල මණ්ඩලයට සැපයීම සඳහා ප්‍රමාණවත් තෙල් තමන් සතුව නැති බව පවසමිනි.

මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවට, ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් මිලියන 500 න් පසුවත් ඉන්ධන ලබාගැනීමට මුදල් නොමැති බවයි.

එය පුදුමයට කාරණයක් නොවන්නේ, ඉන්දියාව විසින් මෙම ණය මුදල ලබාදුන් වහාම, ඔවුන් විසින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවල කල්පිරුණු ණය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 අනෙක් පැත්තට ගෙවා දැමූ නිසා ය.

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා මහබැංකුව, එය සතුව තිබූ රන් සංචිතවලින් භාගයක් ද මුදල් බවට පත් කළේ එනම් විකුණා දැමුවේ මෙම ණය මුදල ගෙවීම පහසු වීම පිණිස ය.

ලංකාවේ ආර්ථික තත්වය සලකා බලා මෙම ණය නොගෙවා හැරීම හෙවත් පැහැර හැරීම කළ යුතුව ඇතැයි Ceylon Chamber of Commerce හි ආර්ථික විශේෂඥයන් විසින් පවසා තිබිණි. පවතින මුදල් යොදවා ලංකාව තමන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ ඉන්ධන මිලදී ගත යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දී තිබිණි.

නමුත් ශ්‍රී ලංකාව ඉතිහාසයේ කිසිදු දිනෙක ණය පැහැර හැරීම හෙවත් ඩිෆෝල්ට් කිරීම සිදුකර නැත.

ඒ අනුව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර ගෙවීම්වලදී ශ්‍රී ලංකාව සිය අභිමානය රැක ගත්තත් දැන් එහි විපාකය ගෙවන්නට සිදුව තිබෙන්නේ ජනතාවට ය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ද පල්ලම් බසිමින් තිබේ. S&P Global Rating ආයතනය විසින් ශ්‍රී ලංකාව ජනවාරි 12 වැනිදා තවදුරටත් පහළ දැමුවේය.

අල් -ජසීරා වාර්තාවේ මෙසේ දැක්වේ.

ලංකාවේ ප්‍රධාන ඩොලර් මූලාශ්‍රය වූ සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විනිමය ආදායම අහිමි වීමත් සමග ලංකාව හමුවේ තෝරාගැනීම් ඉතිරි වී තිබෙන්නේ කිහිපයක් පමණි.

මේ සියලු ප්‍රශ්නවල මූලය, ශ්‍රී ලංකාව සිර වී සිටින අති දැවැන්ත ණය කන්දරාවයි. මේ වසර තුළ ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව එක්කෝ ඩොලර් බිලියන 7.3 ක ණය පොලී වාරික ගෙවිය යුතුය. නැතිනම් එය ගෙවීම පැහැර හැරිය යුතුය.

යම් හෙයකින් ණය ගෙවීම පැහැර හැරියහොත්, ශ්‍රී ලංකාවට අනාගතයේදී දැරිය හැකි පොලී අනුපාතිකවලට පවා අන්තර්ජාතික වෙළඳපොළෙන් ණයට ගැනීම දුෂ්කර වනු ඇත.

2020 දෙසැම්බරයේදී ශ්‍රී ලංකාව, බලපත්‍රලාභී සියලුම බැංකුවලට තමන් සතු විදේශ විනිමය ලැබීම්වලින් 25%ක් මහබැංකුවට ලබාදෙන ලෙස කීවේය. මෙමගින්, වාණිජ බැංකුවලට, ආයනය කටයුතු සඳහා සිය සේවාවන් ලබාදීමට තවදුරටත් අපහසු වනු ඇත.

‌මේ අතර, ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට්කාඩ් භාවිතා කරමින් වරකට ගෙවිය හැකි උපරිම සීමාව ඩොලර් 100 ක් දක්වා පහළ දමා තිබේ. මෙය ද භාණ්ඩ ආනයනයට එල්ල වූ මරු පහරක් බවට පත් ව ඇත.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාව, ඉරානයට ගෙවිය යුතුව තිබූ ණයක්, මුදලින් නොව තේවලින් ගෙවා දැමුවේය. ඔ්මානය, කටාරය සහ ජපානය සමග ද මෙවැනි විසඳුම් ගැන සාකච්ඡා කෙරෙමින් පවතියි.

ණය ප්‍රතිව්‍යූහගත කරන ලෙස ශ්‍රී ලංකාව බෙයිජිං වෙතින් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාරයක් නැත. ඔවුන් කිසිවක් පොරොන්දු වුණේ ද නැති අතර, ඔවුන් කියා තිබුණේ, ‘ඒ ගැන සිතා බලන්නම්’ යැයි කියා ය!

භූමිතෙල් බැරල් පුරවාගෙන පාළු පාරක් දිගේ ඇදී යන කරත්තය 1970 දශකයේ ශ්‍රී ලංකාවේ සුලබ දසුනක් විය. ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය කරන ගෑස් සහ විදුලිය හිඟ වීමත් සමග ලංකාවේ කොළඹ අගනුවර පවා මෙවැනි දර්ශන ඉදිරියේදී සුලබ වීමේ අවදානමක් තිබේ.

පෙර ලිපිය

‘ණය උගුල දකින්නට නම් ලංකාවට යන්න!”- ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා


‘සොබාදහම ආරක්ෂා කිරීම වැනි මූලික දෙයක් ගැන ලෝකයක් ලෙස අපට එකඟ විය නොහැකි නම්, වෙන කිසිවක් වැදගත් නොවේ.’- ජස්ටින් ටෘඩෝ

චීනයේ දිනකට කොවිඩ් රෝගීන් 30,000ක්

කොංගෝහි සමූල ඝාතනයකින් 272ක් මරුට

අරගල කරන හැටි ඉරාණයේ කාන්තාවන්ගෙන් ඉගෙන ගන්න ; සදාචාර පොලිසිය විසුරුවා හැරීමට සූදානම් -නීතිපති

අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහල යාම, විදුලි කප්පාදුව, ආහාර සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව සිරියාවේ විරෝධතා; දෙදෙනෙකු මරුට

ජාවාහි දූපතේ සෙමේරු ගිනිකන්ද සක්‍රිය වේ. අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ.

බලශක්ති මිල අඩු කිරීමට වසර ගණනාවක් ගත විය හැක

එල් සැල්වදෝරයේ කල්ලි මර්දනය වෙනුවෙන් 10,000ක බට පිරිසක් යෙදවේ

error: Content is protected !!
error: Content is protected !!