මෙයට මාස කිහිපයකට පෙර දක්වාම මොහොමඩ් ඉල්ලෙයාස් බස්නාහිර පළාතේ පිහිටා තිබූ සිය හාඩ්වෙයා වෙළඳසැල කිසිදු අපහසුවකින් තොරව පවත්වාගෙන ගියේය. කොට්ටාරමුල්ල ගම්මානයේ පිහිටා තිබෙන ඔහුගේ වෙළඳසැලෙහි තීන්තවල පටන් විදුලි බල්බ දක්වා හැම දෙයක්ම විකිණීමට තිබෙන අතර, එය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් විය.
කොළඹට කිලෝමීටර 95 ක් පමණ ඈතින් පිහිටා තිබෙන මෙම ප්‍රදේශයේ ජීවත් වන බහුතරය සිංහලයන් ය. සුළුතර මුස්ලිම් ජාතිකයෝ ද එහි වෙසෙති. දශක ගණනක් මුළුල්ලේ මුස්ලිම් ජාතිකයෙකු වන ඉලියාස්, ඔහුගේ වෙළඳසැලෙන් සියලුම ආගමික ප්‍රජාවන්ට අයත් ජනතාවට සේවය කළේය.
නමුත් අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සියල්ල වෙනස් විය.
‘‘බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ මගෙ සිංහල පාරිභෝගිකයන්ගෙන් 90%ක්ම මගෙ අලෙවිසැලට එන එක නතර කළා. මගෙ ව්‍යාපාරය සීඝ්‍රයෙන් කඩාගෙන වැටුණා. මට රුපියල් ලක්ෂ ගාණක් පාඩු වුණා..“ ඉලියාස් බීබීසී පුවත්සේවය සමග පැවසුවේය.
දේශීය ජනතාව ඉතා සුළු වශයෙන් දැනගෙන සිටි කණ්ඩායම්වලට සම්බන්ධිත ඉස්ලාම් ආගමිකයන් සුඛෝපභෝගී හෝටල් සහ දේවස්ථානවලට එල්ල කළ ප්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම විනාශකාරී ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය භටයන් (අයිසිස්) විසින් භාරගැනීම දේශය කම්පනයට පත් කළේය.
‘‘පසුගිය සතිවලදී පාරිභෝගිකයන් සුළු පිරිසක් ආපහු කඩේට එන්න පටන් ගත්තා. නමුත් බොහොම සුළු පිරිසක්. මේ තත්වය දිගටම පැවතුණොත් මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.“ යැයි ඉලියාස් පවසයි.
බොහෝ මුස්ලිම්වරුන්ට දැනෙන්නේ මරාගෙන මැරෙන අයිසිස් බෝම්බ ප්‍රහාරවලින් පසු තමන්ව යක්ෂයන් හෝ තර්ජනාත්මක පිරිසක් සේ දැකීමට සමාජය පුරුදු වී ඇති බවයි. තමන් මේ වන විට ‘ඉලක්ක‘ බවට පත්ව ඇති බවද ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ජීවත් වන මුස්ලිම්වරුන් පසුගිය මැයි මාසයේ පටන් විවිධ ප්‍රහාරවලට ද ලක් වී සිටිති.
පසුගිය ජූනි මාසයේදී සිංහල බෞද්ධ මහනායකවරයෙකු ප්‍රසිද්ධියේම, මුස්ලිම් කඩසාප්පුවලින් බඩු භාණ්ඩ මිලදී නොගන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිිටියේය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දැඩි විවේචනයක් ද එයට එල්ල විය. ඔහු ‘සැබෑ බෞද්ධයන්‘ගෙන් අයැද සිටියේ කලාපයේ ‘තලෙයිබාන්කරණය‘ ට එරෙහිව ‘සැබෑ බෞද්ධයන්‘ට එක්සත් වන ලෙස ය.
බහුවාර්ගික, බහුආගමික ශ්‍රී ලංකාව තුළ වාර්ගික සහ ආගමික පැලුම් රේඛා ගැඹුරට සටහන් වෙයි. ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වන ජනගහනයෙන් බහුතරය සිංහල බෞද්ධයන් වන අතර, 10%ක් පමණ මුස්ලිම් ජාතිකයෝ වෙති. ජනගහනයෙන් 12%ක් හින්දූන් වන අතර, ඔවුන්ගෙන් බහුතරය වාර්ගික දමිල සුළුතරයයි. ජනගහනයෙන් 7%ක් ක්‍රිස්තියානි ආගමිකයන් ය.
ශ්‍රී ලංකාව 2009 වසරේදී දශක ගණනක සිවිල් යුද්ධය අවසන් කළේය. යුධ සමය තුළ දස දහස් ගණන් ජනතාව මරා දැමිණි. දස අවුරුද්දකට ආසන්න කාලයක් පැවති සාපේක්ෂ සාම සමය, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිඳී බිඳී ගියේය.
මෙහිදී රට පුරා ජීවත් වන මුස්ලිම්වරු සිත්පිත් නැති ඝාතන හෙළා දුටුවහ. නමුත් ඔවුන් විසින් එකහෙළාම සිදුකළ එකී හෙළාදැකීම දැඩි මතධාරී සිංහලයන් තෘප්ත කර නැත. මූලික වශයෙන් ඔවුන්ගේ කෝපය එල්ල වූයේ ඉස්ලාමයේ දැඩි මතධාරී වහාබිවරුන් වෙත ය.
මුළු මුස්ලිම් ප්‍රජාවම එදිරිවාදී තත්වයකට පත්ව ඇතැයි දැන් මුස්ලිම් නායකයෝ පවසති. ඔවුන්ට හැඟී යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මුස්ලිම් දේශපාලකයන් සහ ආරක්ෂක අංශ, තමන්ට එරෙහිව නොවෙනස් ලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරින බවයි. වාර්ගික ප්‍රජාවන් අතර ප්‍රචණ්ඩත්වයන් ඇති වීම අවම කිරීම සඳහා ආරක්ෂාව දැඩි කර ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
‘‘මේ අවුරුද්දේ ජූනි මාසයේදී මුස්ලිම් දේපළ කොල්ලකමින් සිටි සිංහල මැර කණ්ඩායමක් මගේ සහෝදරයාව නිවස අසලදී මරා දැමුවා. ඒ ගැන යුක්තියක් ඉටු වේදැයි අපට විශ්වාසයක් නැහැ.‘‘වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජීවත් වන මොහොමඩ් නජිම් පවසයි.
පොලීසිය පවසන්නේ මොහොමඩ් නජීම්ගේ සොයුරු මොහොමඩ් අමීර් මොහොමඩ් සාලිගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සහ විමර්ශන තවදුරටත් පැවැත්වෙන බව ය.
ආරක්ෂක හේතුන් මත බව පවසමින් ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ ස්ථානවල මුස්ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමෙන් පසු සම්ප්‍රදායික ඉස්ලාම් ඇඳුම අඳින මුස්ලිම් කාන්තාවන් ද ඉලක්ක වී තිබේ. මුහුණෙන් වැඩි කොටස හෝ සම්පූර්ණ මුහුණම ආවරණය කරන හිජාබ් සහ නිකාබ් වශයෙන් මෙහිදී මෙම ඇඳුම් නම් කරනු නොලැබුවද, මුස්ලිම් ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ හිස් ආවරණය කරන රෙදි පැළඳගෙන සිටින කාන්තාවන් පවා තාඩන පීඩනවලට ලක්වූ බවයි.
‘‘රජයේ කාර්යාලවල වැඩ කරන මුස්ලිම් කාන්තාවන් ගැටළුවලට මුහුණ දෙමින් සිටිනවා. ඇතැම් ස්ථානවල හිස් ආවරණ පැළඳගෙන සිටින මුස්ලිම් කාන්තාවන්ට ගෙදර ගොස් ආපසු සාරියක් ඇඳගෙන එන ලෙස පවසා තිබෙනවා.“ යැයි මුස්ලිම් කාන්තා සංවර්ධන භාරයේ අධ්‍යක්ෂිකා ජුවාරියා මොහිදීන් පවසයි.
පොදු ප්‍රවාහන බස් රථවල සම්ප්‍රදායික අබාය පැළඳගෙන සිටින මුස්ලිම් කාන්තාවන් අසල වාඩි වීම ද ඇතැම් සිංහල කාන්තාවන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඇය පැවසුවාය.
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම ඇතුළු ක්‍රියාවන්, දේශීය බෞද්ධ මහනාහිමිවරුන්ගේ ක්‍රියාවන්ගෙන් උත්තේජනය ලද බෞද්ධ හිමිවරුන් විසින් ලබාදුන් පණිවුඩයේම කොටසක් යැයි ප්‍රජා නියෝජිතයෝ පවසති.
අතීතයේ මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය වැපිරවීම සම්බන්ධයෙන් එක් භික්ෂූන් වහන්සේ නමක් චෝදනා ලැබූහ. ඒ, ජාතිවාදී කණ්ඩායමක් වන බොදු බල සේනා හි නායක ගලගොඩ අත්තේ ඥානසාර හිමි ය.
‘‘කිසිම සංවිධානයක් මුස්ලිම් කඩ සාප්පුවලින් භාණ්ඩ මිලට ගන්න එපා කියල මිනිස්සුන්ට කියල නෑ. මිනිස්සු එහෙම කරන්නෙ තමන්ගෙ කැමැත්තෙන්. අපිට මේකට කරන්න දෙයක් නැහැ“ යැයි ඥානසාර හිමි පැවසූහ.
අධිකරණයට අපහාස කිරීම නිසා සය අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටි මෙම භික්ෂුවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පසුගිය ජූනි මාසයේදී සමාව දුන්නේය.
‘‘මුස්ලිම් ප්‍රජාව තමන් අතරම මේ ගැන කතා කර මේකට පිලිතුරු සොයාගන්න ඕනෙ. අපි කියන්නෙ නෑ සියලුම මුස්ලිම් ජාතිකයො ප්‍රචණ්ඩත්වයට සම්බන්ධයි කියලා.. නමුත් මුස්ලිම් ව්‍යාපාරිකයො හොයාගන්න ඕනෙ දැඩිමතධාරී ඉස්ලාමයට සහාය දෙන්නෙ කවුද කියලා. ඔවුන් ව හෙළිදරව් කළ යුතුයි..‘‘ යැයි බොදු බල සේනා නායකයා පැවසීය.
නමුත් මුස්ලිම් නායකයන් පැවසුවේ මෙම භික්ෂුව තමන්ගේම දැක්ම ප්‍රශ්න කළ යුතුව ඇති බවයි. ‘‘ඔහු අපිට අනුශාසනා කිරීම නතර කරන්න ඕනෙ. තමන්ගේම ඇතුළතින් ආලෝකය සොයාගැනීමට ඔහු යොමුවිය යුතුයි.‘‘ යැයි පවසන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ අමාත්‍යවරයෙක් වන රවුෆ් හකීම් ය.
ඔහු පැවසුවේ මුස්ලිම්වරුන් ප්‍රජාවක් වශයෙන් තමන්ට වැරදුණු තැන් සොයාගැනීම සඳහා බරපතළ ප්‍රත්‍යවේක්ෂණයකට යොමුවීමට සූදානම් බවත්, ඔවුන් දැනටමත් ස්වෙච්ඡාවෙන් එසේ කරමින් සිටින බවත් ය.
‘‘ආගමික බලය සඳහා පෙළ ගැසුණු ඉහළම අධිකාරියේ සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත කොටසක් විසින් වෛරී කථනය දේශනා කිරීම අතිශයින්ම බලාපොරොත්තු සුන් කරවන දෙයක් සහ ඉතාම පිළිකුල් සහගත දෙයක්‘‘ යැයි ඇමති හකීම් පවසයි.
ශ්‍රී ලංකා මුස්ලිම් වරුන් විෂයෙහි යම් ප්‍රගතියක් ඇතිවන ලකුණු පසුගිය සතිවල දක්නට ලැබිණි.
සිය සම්පූර්ණ මුස්ලිම් ප්‍රජාවම ත්‍රස්තවාදයට ඈඳා ගැනීම ගැන විරෝධය පළ කරමින් පසුගිය මැයි මාසයේදී ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු, නැවත දිවුරුම් දුන්හ.
දහස් ගණනක් බෞද්ධ මව්වරුන් වඳ භාවයට පත් කළ බවට චෝදනා ලද මුස්ලිම් ජාතික නාරි වෛද්‍යවරයෙක් ද ඇප පිට නිදහස් කර ඇත. එම වෛද්‍යවරයා වන මොහොමඩ් සාෆි පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගැනුණේ සිංහල පුවත්පතක පළ වූ ලිපියක් මගින් කිසිදු සාක්ෂියක් නොමැතිව එල්ල කළ චෝදනා හේතුවෙනි. ඔහුට එරෙහිව සාක්ෂි කිසිවක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නද ඔහුව සති කිහිපයක්ම රඳවා තබා ගැනිණි.
කාර්යබහුල කොළඹ පිටකොටුව මාර්කට්ටුවේ මුස්ලිම් වෙළඳුන් ඇතැමෙක් සඳහන් කළේ, අඩු වේගයකින් වුවද සිංහල පාරිභෝගිකයන් නැවත තමන් කරා පැමිණීම ආරම්භ කර ඇති බවයි.
නමුත් දෙසැම්බර් 9 ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ඉදිරි කාලයේදී මේ තත්වය කෙසේ වර්ධනය වේදැයි ඔවුහු පසුතැවිල්ලෙන් යුතුව විමසිලිමත්ව සිටිති.
මුස්ලිම් විරෝධය දේශපාලනයේදී ලකුණු ලබාගැනීම සඳහාත් ප්‍රජාවන් බෙදා වෙන් කිරීම සඳහාත් පාවිච්චි කරනු ඇතැයි මුස්ලිම් නායකයෝ බියට පත්ව සිටිති.
‘‘මේ ආකාරයේ ධ්‍රැවීකරණයක් සහ ප්‍රජාවක් වෙත තර්ජනාත්මක වීමක් මගින් තවදුරටත් මුස්ලිම් රැඩිකල්කරණය ඇති වන බව ඔවුන් වටහාගත යුතුයි.“ යැයි අමාත්‍ය හකීම් අනතුරු ඇඟවීය.
තමන්ව දේශපාලන බල ක්‍රීඩාවේ ඉත්තන් බවට පත් නොකරනු ඇතැයි ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වෙති.
ප්‍රධාන ඡායාරූපය – The New York Times
Source: BBC | Sri Lanka’s Muslims ‘demonised’ after Easter bombings
By Anbarasan EthirajanBBC News, Colombo