×

සවුදියේ තෙල් බලාගාර වෙත එල්ල වූ ප්‍රහාර පිළිබඳ බ්‍රිතාන්‍යයෙන් ප්‍රකාශයක් 

සවුදි තෙල් බලාගාර වලට එල්ල වූ ප්‍රහාර වලට වගකිව යුතු පුද්ගලයින් පිළිබඳ නිවැරදි තොරතුරු නොදැන චෝදනා එල්ල කිරීම යෝග්‍ය නොවන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ඩොමිනික් රෑබ් මහතා ප්‍රකාශ කර සිටියි.


පසුගියදා සවුදියේ තෙල් බලාගාර වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හෙලා දකිමින් බ්‍රිතාන්‍යය ප්‍රකාශයක් සිදුකොට තිබේ. කෙසේවෙතත්, එම රාජ්‍යය ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරයට වගකිව යුතු පාර්ශවය පිළිබඳ පැහැදිලි තොරතුරක් නොමැතිව නිගමන වලට එළඹීම යෝග්‍ය නොවන බවයි. 

පසුගිය දිනක “සෞදි අරම්කො” තෙල් බලාගාර වෙත යෙමනයේ ඉරාන හිතවාදී හවුතිවරුන් විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ යැයි ලොව පුරා පළවූ පුවත පිළිබඳ අදහස් දක්වමින් එක්සත් රාජධානිය ප්‍රකාශ කර සිටියේ, මෙම අවාසනාවන්ත සිදුවීම පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, එයට වගකිව යුතු පාර්ශව නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත්, එහෙත් ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් පිළිබඳ 100% නිවැරදි තොරතුරු රහිතව චෝදනා එල්ල කිරීම යෝග්‍ය නොවන බවත් ය.  

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ඩොමිනික් රෑබ් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම මොහොතේ තම රාජ්‍යය පැහැදිලිවම සවුදි අරාබිය සමඟ සිටිනා බවයි. 

මේ පිළිබඳ සිදුවන විමර්ශන කටයුතු තුළින් වගකිව යුතු පාර්ශව පිළිබඳ පැහැදිලි අදහසක් නුදුරේදීම ලබා ගත හැකි වනු බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. 

කෙසේවෙතත් ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ පසුගිය දින මෙම සිදුවීමට ඉරානය සෘජුව වගකිව යුතු බවට දෝශාරෝපණය කළේය. 

“මෙය සවුදි අරාබියට සහ තෙල් ස්ථාපනයට ඉතා බරපතල අන්දමින් එල්ල වූ ප්‍රහාරයකි. එය ගෝලීය තෙල් වෙළඳපළ ට සෘජු බලපෑමක් ඇතිකරයි. මෙය පැහැදිලිවම බරපතල මෙන්ම ඉතා පහත් ක්‍රියාවකි. ඒ සඳහා උපරිම ජාත්‍යන්තර ප්‍රතිචාරයක් අප ලබා ගත යුතුයි,” රෑබ් අවධාරණය කළේය. 

මේ වන විට ඉරානය මෙම ප්‍රහාරයට වගකීම දැරීම ප්‍රතික්ෂේප කරමින් සිටියි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි