×

ඩයිනසෝරයන්ට අපහාස නොකරන්න!

ඩයිනසෝරයන් ගැන ලෝකයේ ප්‍රකටවම තිබෙන මිත්‍යා මත 6 ක් පිළිබඳ මේ ලිපියෙන් විමසා බැලෙයි.


මේ මිත්‍යාවන් විශ්වාස කිරීම අද පටන්ම නතර කරන්න!

අප හැම කෙනෙක්ම වගේ ඩයිනසෝරයන් ගැන දැනගන්නට කුතුහලය මුසු උනන්දුවක් දක්වන බව පැහැදිලි ය. ප්‍රථම ඩයිනසෝර සාක්ෂිය මිනිසාට ලැබෙන්නේ මෙයට වසර 200 කට පමණ පෙර මහපොළොව කැණීමේදී ය. නමුත් වසර 200කට පසුවත් තවමත් නොකඩවා ඩයිනසෝරයන් ගැන චිත්‍රපට තැනෙයි. ඩයිනසෝරන් ගැන හමුවන පොසිල සාක්ෂි ගණන වැඩි වත්ම උන් ගැන අපේ කුතුහලය ද වැඩිවෙයි. මේ අතර ඩයිනසෝරයන් අද්භූත සත්ව කොට්ඨාසයක් ලෙස සලකන්නට අපේ සිත්හි තිබෙන ආශාව ද තව තවත් වැඩි වෙයි. නමුත් ඒවා ඇසුරෙන් අපේ සිත්වල ඇති වී තිබෙන බොහෝ විශ්වාස, මිත්‍යා විශ්වාස බව අප දන්නේ නැත. මේ බලන්න….

ඩයිනසෝරයන් වඳ වී ගිය සත්ව කොට්ඨාසයකි.

එම ලොකු බොරුවකි. වඳ වී යාම යන්නෙන් විද්‍යාත්මක ව අදහස් කරන්නේ මිහිමතින් සදහටම අතුගෑවී යාමයි. මෙයට වසර මිලියන 65කට පෙර යුකැටන් අර්ධද්වීපයේ උන් විසූ පරිසර පද්ධති, උල්කාපාතයක් වැටීම නිසා අති දැවැන්ත විනාශයකට හසු වූ බව සැබෑවකි. නමුත් ඒ නිසා ඩයිනසෝරයන් මිහිමතින් සදහටම වඳ වී ගියේ නැත. සැබවින්ම ඩයිනසෝරයන්ට නෑ කම් කියන පක්ෂීහු තවමත් මේ සත්ව ලෝකයේ වෙසෙති.

ඩයිනසෝරයන් සීතල රුධිරය ඇත්තන් ය.

නැත.ඩයිනසෝරයන් ගැන ඇඳ තිබෙන පැරණි චිත්‍ර යනාදියේ උන්ව දැක්වෙන්නේ සීතල රුධිරයැති අපරරූපීන් හෙවත් විරූපී සිරුරු ඇත්තවුන් ලෙස ය. නමුත් සත්‍යය ඊට වඩා සංකීර්ණ ය. ඒ සත්‍යය මිනිසා මේ වන විට සොයාගෙන තිබෙන්නේ විද්‍යාවේ දියුණුවත් සමග ය. ඒ අනුව උන්ගේ පාෂාණිභූත අස්ථි අන්වීක්ෂ පරීක්ෂාවන්ට ලක් කිරීමේදී හෙළි වී තිබෙන්නේ උන් සීතල රුධිරය සහිත ජීවීන් නොවන බව ය. ඒ නිසා ශරීර උෂ්ණත්වය රඳවා ගැනීමට උන්ට සූර්ය උණුසුම අවශ්‍යම විය. කෙසේ හෝ උන්ගේ සිරුරුවල දුවා තිබෙන්නේ උණුසුම් රුධිරයයි.

ඩයිනසෝරයන් කොරපොතු සහිත ය.


නැත. එය ද පොදු ලක්ෂණයක් නොවේ. වසර මිලියන ගණනක ඉතිහාසය තුළ කොරපොතු සහිත ඩයිනසෝරයන් ජීවත් වී නැති බවට ද මතයක් තිබේ. එයට හේතුව වන්නේ ඔවුන් ‘පක්ෂීන්‘ ද නැතිනම් ‘උරගයන්ද‘ යන්න ගැන පැහැදිලි බෙදීමක් නැති වීමයි. තවද පක්ෂියෙකු සහ ඩයිනසෝරයෙකු අතර වෙනස ද මේ දක්වා පැහැදිලිව අර්ථ දක්වා නැත. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ‘ජුරාසික් පාක්‘ හෝ ‘ජුරාසික් වර්ල්ඩ්‘ චිත්‍රපටවල නම් උන්ව විදහා දක්වන්නේ කොරපොතු සහිත ජීවීන් කොටසක් ලෙස ය. උදාහරණයක් වශයෙන්, වෙලොසිරැප්ටරයෙකුට කොල පාට කොරපොතු තිබෙන බව, පොසිල සාක්ෂිවලින් සනාථ වූ කරුණක් නොවේ.

ඩයිනසෝරයන් කොල පාට හෝ දුඹුරු පාට ජීවීන් ය.

නැත. එය ද පොදු ලක්ෂණයක් නොවේ. එනම් සියලු ඩයිනසෝරයන් එක්කෝ කොල පාට, එසේත් නැතිනම් දුඹුරු පාට ජීවීන් වූයේ නැත. ඇත්තෙන්ම ඇතැම් ඩයිනසෝර විශේෂයන් කුමන පාටින් යුක්ත වූවන්දැයි අප අද දක්වා ද දන්නේ නැත. රතු, කළු, සුදු ආදී වර්ණ සමූහයක් මේ විශේෂ තුළ දැකගත හැකි වූ අතර, තනි පාට ඩයිනසෝරයන් සිටියේ ද නැත. අපට නියත වශයෙන්ම කිව හැක්කේ, ඇතැම් ඩයිනසෝරයන් ඉරි වැටුණු දේහ දැරූවන් බවත්, රැකූන් සතුන්ට මෙන් උන්ට වල්ගා තිබූ බවත් ය.

එකම යුගයක ජීවත් වූ ඩයිනසෝරන්ට තිබුණේ සමාන පෙනුමකි.

Tyrannosaurus rex

නැත. උදාහරණයක් වශයෙන් ජනප්‍රියම ඩයිනසෝරයන් විශේෂ දෙකක් වන Tyrannosaurus rex සහ Stegosaurus ව ගන්න. මේ දෙදෙනා අතරින් ටිරානෝසෝරස් රෙක්ස්, අති දැවැන්ත මාංශභක්ෂකයෙකි. අනෙකා කණ්ඨක (කූරු) රැසක් තිබූ අති දැවැන්ත ශාක භක්ෂකයෙකි. උන්ගේ පෙනුම කිසිසේත්ම එක හා සමාන නොවේ. තවද මේ ඩයිනසෝරන්ගෙන් පැවත ගෙන එන පක්ෂීන් තවමත් මේ ලෝකයේ සිටියි.

Stegosaurus

ඩයිනසෝරයන් පරිණාමිකව අසාර්ථක වූ ජීවීන් ය.

වෙලොසිරැප්ටරයෙක්

නැත. නමුත් නූතන ලෝකයට නොගැළපෙන අයව එදිනෙදා ජීවිතයේදී හැඳින්වීමට අප යොදන්නේ ‘ඩයිනසෝරයන්‘ කියා ය. අප එයින් අදහස් කරන්නේ ඔවුන් ‘වඳ වී යන්නන්‘ බව ය. පරිසරයට නොගැළපෙන අය බව ය. එහෙත් ඔවුන් පරිණාමිකව අසාර්ථක වූ ජීවීන් නොවේ. එය අසාධාරණ කතාවකි. ඩයිනසෝරයන් යනු, වසර මිලියන 186 ක් තිස්සේ මිහිමත අණසක පතුරුවා ගෙන සිටි ජීවීන් ය. පරිණාමිකව අසාර්ථක නම් එතරම් දීර්ඝ කාලයක් ඔවුන්ට වැජඹෙන්නට ලැබෙන්නේ නැත. ඊට සාපේක්ෂව නූතන මානවයා වන හෝමෝ සේපියන්ස් ගැන සලකා බලමු. පැරණිතම හෝමෝ සේපියන්ස් පොසිලයේ වයස අවුරුදු 300,000 ක් පමණි. එනම්, වෙනත් වචනවලින් කියන්නේ නම් අපට ඩයිනසෝරයන්ට විහිළු කතා කියන්නට නම් අප තවත් වසර මිලියන 185.7 ක් මිහිමත ජීවත් විය යුතුය.

එනිසා ඩයිනසෝරයන්ට අපහාස නොකරන්න!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි