×

ඔව් මැරුවා තමයි, යුද්ධෙ නවත්වන්න – ට්‍රම්ප්

සොලෙයිමානි ගේ වියරුව මින් අවසාන වනු ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය.


ඉරානයේ ඉහළම හමුදා නිලධාරී කසෙම් සොලෙයිමානි ඇතුළු පුද්ගලයින් ඝාතනය කිරීම පිළිබඳ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය අදහස් පළ කොට තිබේ.

ඔහු සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කළේ යුධමය තත්ත්වයක් නැවැත්වීමට මිස යුද්ධයක් ආරම්භ කිරීමට නොවන බවයි.

ඊයේ (03) දින ඇමරිකානු හමුදා විසින් ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළ වෙත ප්‍රහාරයක් එල්ල කළේය.

එම ප්‍රහාරයෙන් ඉරානයේ ප්‍රභූ ආරක්ෂක බලකා ප්‍රධානී කූඩ්ස් බලකා ප්‍රධානී ජනරාල් කසෙම් සොලෙයිමානි ඇතුළු පුද්ගලයින් ඝාතනයට ලක්විය.

සොලෙයිමානි ගේ වියරුව මින් අවසාන වනු ඇති බවද ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය.

සිදුවීමෙන් ප්‍රකෝපකාරී වී සිටින ඉරානය නිසැකවම මීට පළිගැනීමක් සිදුකරන බවට දිව්රා සිටියේය.

ඊයේ දින ජාත්‍යන්තර තලය සෙලවීමට සමත් වූ මෙම පුවත ඉරානය හා එක්සත් ජනපදය පරම සතුරන් බවට පත් කිරීමට සමත් විය.

මේ අතර අතිරේක හමුදා භටයින් තුන් දහසක් මැදපෙරදිගට අනුයුක්ත කරන බවද එක්සත් ජනපද බලධාරීහු පවසා සිටියහ.

ප්‍රහාරයෙන් පැය විසිහතරකට මත්තෙන් තවත් ප්‍රහාරයක් ඇමරිකානු හමුදා විසින් දියත් කළ බව ඉරාක පුවත් සේවයක් විසින් වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් මේ පිළිබඳ වොෂිංටනයෙන් පිළිතුරක් ලබා දී නොමැත.

සොලෙයිමානි යනු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට පසු සිටින දැවැන්තම චරිතය බවට පැවසේ.

ඇමරිකානු ජනපතිවරයා ෆ්ලොරිඩාවේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදය ගත් ක්‍රියාමාර්ගය හමුවේ ලොව අංක එකේ ත්‍රස්තවාදියාව ඝාතනය කිරීමට සමත් වූ බවයි.

කෙසේවෙතත්, සොලෙයිමානි ගේ මරණයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද සිය අදහස් පළ කොට තිබේ.

සොලෙයිමානි දෙවියන් වහන්සේ වෙතට යාමෙන් ඔහුගේ මෙහෙවර අවසාන නොවන බවත්, ඔහුගේ හා අනෙකුන් ගේ රුධිරය සෙලවීමට කටයුතු කළ අපරාධකරුවන්ට එරෙහි පළිගැනීමක් මඟ රකිමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

මෙම සිදුවීම් දාමය අභියස බොහෝ පාර්ශව කැළඹීමට පත්ව ඇති අතර, ඉදිරියේදී කුමක් සිදුවනු ඇත්ද යන්න අවිනිශ්චිතව පවතී.

පෙර ලිපිය:
ඇමරිකාව ඉරාන ප්‍රභූ ආරක්ෂක ප්‍රධානී ක්වේසෙම් සුලෙයිමානී සහ තවත් 6ක් ඝාතනය කරයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි