×

‘විප්ලවය රැක ගන්න‘: නිවාස අඩස්සියේ සිටින සුඩාන අගමැතිගෙන් ආයාචනයක්

‘‘විප්ලවය රැක ගන්න!‘‘ යැයි නිවාස අඩස්සියේ සිටින සුඩාන අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ආයාචනය කරයි.


සංක්‍රාන්ති ආණ්ඩුවේ සිවිල් අගමැතිවරයා වන අබ්දුල්ලා හැම්ඩොක් ‘සාමකාමී උද්ඝෝෂණ රැල්ල තවදුරටත් පවත්වාගෙන යන ලෙසත්, විප්ලවය රැක ගන්නා ලෙසත්‘ ජනතාවගෙන් ආයාචනය කර තිබේ.

ඒ බව සඳහන් වන්නේ සුඩානයේ තොරතුරු අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ ය.

මේ වන විට සුඩාන අගමැතිවරයා ඇතුළු තවත් ඇමතිවරුන් 4 දෙනෙක් නිවාස අඩස්සියට පත් කර ඇති අතර, හමුදා කුමන්ත්‍රණයට සහාය පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලෙසට හමුදාව අගමැතිවරයාට බලපෑම් කරමින් සිටියි.

තවත් වාර්තාවකට අනුව, මෙම ඉල්ලීම ඉටු නොකිරීමත් සමග හමුදාව විසින් අගමැතිවරයාව කිසියම් නොදන්නා ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති අතර, නිවාස අඩස්සියට පත් කර තිබෙන්නේ එහිදි ය.

ස්වාධිපත්‍ය කවුන්සිලයට මොකද වුණේ?

2019 වසරේදී දිගු කාලීන ඒකාධිපති නායක ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමත් සමග සුඩානයේ පැවතියේ සිවිල්-මිලිටරි හවුල් පාලනයකි.

මෙය සංක්‍රාන්තීය ආණ්ඩුවක් ලෙස පිහිටුවා ගත්තේ, මහ මැතිවරණයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මග සලසා දීම සඳහා ය. මෙම සංක්‍රාන්තිය ආණ්ඩුව ‘ස්වාධිපත්‍ය කවුන්සිලය‘ (Sovereign Council) ලෙස ද හඳුන්වයි.

නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ පටන් සුඩාන හමුදාව, අගමැතිවරයාව බලයෙන් පහ කර හමුදා කුමන්ත්‍රණ මගින් බලය ලබාගැනීමට තැත් කරමින් සිටියි.

හිටපු ඒකාධිපති නායක ඕමාර් අල් බෂීර් හමුදා නායකයෙකු ද වූ නිසා, හමුදාව තුළ ඔහුට පක්ෂපාතී කණ්ඩායම් බෙහෙවින් සිටීම මෙයට හේතුව ලෙස සැලකේ.

පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ, පුද්ගලයන් දස දහස් දෙනෙක් සහභාගි වූ විරෝධතාවලදී සිවිල් ජනතාවගේ ඉල්ලීම වූයේ ද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලබාදෙන ලෙසයි.

නමුත් හමුදාවට සහාය පළ කරන කණඩායම් දිගින් දිගටම කියා සිටින්නේ සිවිල් අගමැතිවරයා ඇතුළු සිවිල් නායකයන් විසින් සුඩානය තුළ ගෙන යන්නේ ‘අකාර්යක්ෂම පාලනයක්‘ බවයි.

 

පෙර ලිපිය

සුඩානය නොසන්සුන් : අගමැති ඇතුළු සිවිල් නායකයන් රැසක් හමුදා අත්අඩංගුවට

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි