×

සුඩානය නොසන්සුන් : අගමැති ඇතුළු සිවිල් නායකයන් රැසක් හමුදා අත්අඩංගුවට

සුඩානයේ ඛාටූම් නගරය මුල් කරගෙන මේ වන විට දැඩි සිවිල් විරෝධතා හටගෙන තිබේ.


මෙයට සමගාමීව හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ බිය ද වර්ධනය වෙමින් තිබේ.

මේ අතර සුඩානයේ සංක්‍රාන්ති ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු සිවිල් නායකයන් රැසක් අත්අඩංගුවට හෝ නිවාස අඩස්සියට පත් කර ඇති බව සුඩානයෙන් ලැබෙන නවතම වාර්තාවල දැක්වේ.

මෙම මර්දනය ‘ඒකාබද්ධ හමුදා කණ්ඩායම්‘ විසින් සිදුකරන බවට සුඩානයේ තොරතුරු අමාත්‍යාංශයේ ෆෙස්බුක් පිටුවේ දැක්වෙන නමුත්, සුඩාන හමුදාව මේ පිළිබඳ කිසිදු අදහසක් දක්වා නැත.

මෙයට වසර 2 කට පෙර සුඩානයේ දීර්ඝකාලීන ඒකාධිපති නායක ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමෙන් පසුව සුඩානයේ පවතින්නේ සංක්‍රාන්තික ආණ්ඩුවකි. එහි අගමැතිවරයා ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක්, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස සැලකෙන අතර, සුඩාන හමුදාව සහ ඔහු අතර විරසකයක් නිර්මාණය වෙමින් පැවතිණි.

අද අළුයම සිට අගමැති අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කර තිබේ.

ඛාටූම් අගනුවර අන්තර්ජාල සම්බන්ධතා ද සම්පූර්ණයෙන්ම කපා හැර ඇත. වීදිවල ටයර් පුළුස්සන සිවිල් ජනතාවගේ ඡායාරූපවලින් සමාජ මාධ්‍ය ජාලා ඉතිරී ගොස් තිබේ. මේ අතර ඛාටුම් ගුවන් තොටුපොළ ද වසා දමා ඇත. සියලු අන්තර්ජාතික ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ.

දස දහස් ගණන් සිවිල් ජනතාව සුඩානයේ සංක්‍රාන්තික ආණ්ඩුවට සහාය පළ කරමින් වීදි බැස සිටිති.

සුඩානයේ තත්වය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් පසුවන බව මේ අතර ඇමරිකාව පවසයි.

බලයෙන් පහ කළ ඕමර් අල් බෂීර් හිටපු ජනපතිවරයාට හමුදා සහාය තවමත් ලැබෙන බවට සැක කෙරේ. ඔහුගේ අනුගාමිකයන් විසින් සැප්තැම්බර මාසයේදී ද මෙවැනිම කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැලසුම් කළ නමුත් එය අසාර්ථක විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි